Sunday, February 22, 2026

කලකට පස්සේ වෙලකට බැස්සේ | After a long while

 කාලය යන ඉක්මන.. 

එහෙ බලල මෙහෙ බලන ටිකට 2026 අවුරුද්දෙනුත් මාස එකාමාරක් ඉවරයි නේද? මාර වැඩේ කියන්නෙ එන්න එන්නම කාලය ගත වෙන වේගෙ වැඩි වෙනව කියල හිතෙන්නෙ නැද්ද ඔයාලට?  ඇත්තටම එහෙම හිතෙන්නෙ මේ ලෝකෙ කැරකෙන වේගෙ වැඩි වෙලාද නැත්තං අපේ ඔලුවෙ තියන මනස්ගාතයක් හින්දද කියන එක කල්පනා කරන්නවත් වෙලාවක් අපිට නෑ දැන්. හැබැයි නිකමට හිතල බැලුවාම ඉස්සර අවුරුද්දක් ගෙවිල යනවට වඩා  හැටට හැටේ වේගෙන් මේ ලඟ ලඟ එන අවුරුදු ගෙවිල යනව කියල ඔයාලට නිකමටවත් හිතිල නැද්ද? වයසෙ වැරද්දද, කාලෙ වැරැද්දද, වෙන මොකක් හරි එකක වැරද්දද කියන්න මටත් තේරෙන්නෙ නෑ. මේ අද ඊයෙ කසාද බැඳපු උං එකවරසට පොඩි එකාව දාන පොටෝ බුකිය පුරා දානකොට තමයි තේරෙන්නෙ ‍යකඩෝ මේ කාලෙ යන ඉක්මන කියල. 

මේ ලියන්නෙ හුඟක් කාලෙකින්. කොටින්ම දැන් ලියන්න තියා කියවන්නවත් අපිට වෙලාවක් නෑනෙ. ඇත්තම කිව්වොත් අපිට වෙලාවක් නැත්තෙ නෑ.. අපිට දැන් කියවන්න ලියන්න ඕනි නෑ. මොකද අපිට ඊට වඩා ලල් එකක් දෙන බක්කක් තියනවනෙ සෝශල් මීඩියා කියල. අපි ඒකට ඇබ්බැහි වෙලා වීඩියෝ බල බල ඉන්නව. කොටින්ම අහවල් සෝශල් මීඩියා එක ඇතුලෙත් ඉඳ...ල හිටල පොටෝ එකක්, ලයික් එකක් දානව ඇරුනම, දැන් ඉස්සර වගේ පෝස්ට් එකක්, කමෙන්ට් එකක්වත් දාන්නෙ නෑ නේද කියල; සංවාදයක් කරන්නෙ නෑ නේද කියල; පැල් බැඳං තර්ක කරන්න යන්නෙ නෑ නේද කියල කල්පනා කෙරුව වෙලාවක මටම හිතුනා. කොටින්ම අපි ඒ හැමදේම අතෑරල දාලා..  අපිට වැඩක් නෑ, අපි ඕවට නෑ, අපි ඉන්නේ අපේ පාඩුවේ සීන් එකේ ඉන්නෙ.  අපි පරිනත වෙන්න වෙන්න ඒක එහෙමයි.  

අපි පොඩි බබාලට තියන එකම විනෝදේ සෝශල් මීඩියා වීඩියෝ...  වීඩියෝ... වීඩියෝ...  ඇඟිල්ලෙන් උඩට කලාම තවත් වීඩියෝ එකකට,  එතනින් තවත් වීඩියෝ එකකට,  එතනිනුත් තව තවත් වීඩියෝ වලට යන මෙතඩ් එක හොයාගෙන මේකෙ අතෑරිය එකාව හම්බෙනකං ඉන්නෙ හොම්බට දෙකක් අනින්න. එච්චරටම බලන බලන තැන අපි ඔයාල හැමෝම ස්වයිපප් කර කර වීඩියො බලනව. 

කාලෙන් කාලෙට අපේ පුරුදු වෙනස් වෙනව තමයි. හැබැයි ඒ පරන පුරුදු අපි ලඟ තිබිලා මේ අලුත් පුරුදු නැති උනා නම් කියල හිතෙන වෙලාවල් එනව කියන්නෙ මොන වගේ අංජබජල් තත්වයක්ද නේ? පොතක් පතක් කියවල සඟරාවක් කියවල ටීවි එක බලල සින්දුවක් දෙකක් අහලා බ්ලොග් එකේ මොනා හරි කොටලා සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවල දාපු කාලෙ මතක් වෙනව නේද ? ඒ කාලෙත් අපි සාමාන්‍ය විදියට වැඩ කලා, ඉගෙනගත්තා, විභාග ලිව්වා, රස්සාවල් කලා. අපි දැනුත් ඒව කරනව. ඒ උනාට අපි ලඟ තිබුන ඒ වටින පුරුදු අපෙන් දුරස් වෙලා යන්නම ගිහිල්ලනෙ. ඒ වෙනුවට ඊට වඩා ආතල් එකක් අපිට දැනෙන ඒ උනාට ඒ ආතල් එකට වඩා පරණ, අපි පුරුදු වෙලා හිටිය, අහිංසක ආතල් පුරුදු හොඳයි කියල හිතෙන හත්වලාමේ මේ සෝශල් මීඩියා කෙලිය ගැන නං පුදුම හිතෙනව වෙලාවකට..

ඉස්සර මිනිස්සු බස් එකේ කෝච්චියෙ උනත් ගියෙ වට පිට බල බල උනාට දැන් උබල අපි හැමෝම මොන තූත්තු කුඩියෙ ගියත් බෙල්ල පාත් කරං අර නල්ල මලේ ගඩොල් බාගෙ දිහෑ බලාගෙන ඒකට හිනා වෙවී වෙනම ලෝකෙක ජීවත් වෙනව. අන්තිමට බලපුවාම කාලෙ රූ.......ං ගාල ගෙවිල ගිහිං අපිට ටටා බායි කියල. 

මං මේ බ්ලොගේ මකුළු දැල් කඩන්න හිතුවෙ ඔයැයිලට සෝශල් මිඩියා ඕනිවට ලංකරගන්න එපා කියල අනුශාසනා දෙන්න නෙමෙයි ඕං වැරදියට නං හිතන්න එපා.. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියල කියමනක් තියනවනේ.. ඉතිං ඒක හින්දා මමත් කාගෙන් හරි බණක් අහල ඒක පිලිපදිනව මිසක් ඔය බණ නං මං දේශනා කරන්න යන්නෙ නෑ.. 

සිංහල බ්ලොග් කරුවෝ  කියල ඉමේජ් එකක් ඉල්ලුවම සිංහල මුල් සරමෝ කියල ඉමේජ් එකක් AI දෙයියා දුන්නා :D

කාලය ගෙවිලා යන ඉක්මන කියල මට මේ මතක් වෙලා මේකෙ කොටන්න නිකමට හිතුනේ.. හරිම අහම්බෙන් අනේ මටත් බ්ලොගයක් තිබ්බනේ කියල මොකක් හරි හේතුවකින් අවුරුදු ගානකින් මේකට ලොග් උනාට පස්සෙ. ඔයාලට කියන්න මේක ලියන එක මට අතෑරුනේ  2017දි විතර. ඒ කියන්නෙ මීට අවුරුදු 8කට 9කට ඉහත්තාවෙදි. ඔය ෆේස් බුක් එකේම, මං ඊටත් කලින් ලියපු විකාරයක් ගෙනල්ල අවුරුද්දට එක පෝස්ට් එක ගානෙ මේකට අතෑරල පැත්තවත් නොබල යන්න ගිහිනුත් 2019 අවුරුද්දෙ ඉඳන් බල්පුවාම දැන් අවුරුදු හයක්ම ගෙවිලා ගිහින්. ඊටත් කලියෙන් ඒ කියන්නෙ අපි ඔය බ්ලොග් ලිව්වයි කියන කාලෙ උනත් මේකෙ මහ ලොකු දේවල් ලිව්වෙ නෑ තමයි. හැබැයි මිත්‍රවරුනි බ්ලොග් ලියන එක, කියවන එක, බ්ලොග් ලෝකෙ මිනිස්සු දැන ඇඳින ගන්න එක, කතා බහ කරන එක අපේ ජීවිතේ කොටසක් වෙලා තිබ්බ කාලයක් තිබුනා.. ඉතිං ඒ මතක ආයෙ ආයෙ ආවර්ජණය වෙනව ඉඳල හිටල මේකට ගොඩ වැදිල යනකොට. කොටින්ම පෝස්ට් එකේ ලියල තියන දේවල් වලටත් වඩා කමෙන්ට් දාන අපේ ඒ කාලෙ දුටු නොදුටු බ්ලොග් යාලුවන්ගෙ කමෙන්ට් ආයෙ ආයෙම ඒ ලස්සන අතීතය මතක් කරනව.

යාලුවො අද නැත - වෙන අය එහි ඇත.. කියලවත් කියන්න බැරි තත්වයක් අද බ්ලොග් ලෝකෙට වෙලා තියෙන්නෙ. සමහර විට අපි ෆලෝ කරපු ලිස්ට් එක ඇරුණම වෙනම සෙට් එකක් දැන් බ්ලොග් ලියනවද දන්නෙත් නෑ. හැබැයි රීඩිං ලිස්ට් එක දැක්කම නං කලාතුරකින්වත් මකුළු දැල් කඩල දාන්න ඒ කාලෙ හිටපු උන්දැලටත් හිතක් නෑ වගේ.. මාතලන් වගේ බ්ලොග් පතාකයො එක්කෙනෙක් දෙන්නෙක් නං තාම ලියනව දැක්ක මං. ඒ උනාට ඒවට තියන ප්‍රතිචාර කමෙන්ටු ඒමත් හරිම අඩුයි. පොලිටික්ස් ලිවිල්ල එච්චරම සෙට් නැති නිසා ඒව බලන්න හිතෙන්නෙත් නෑ දැන්. 

ඉස්සර බ්ලොග් වල, පෝස්ට් අස්සෙ වෙනම කතාවක් දිගෑරෙනකොට; කමෙන්ට් අස්සෙ වෙනම සුන්දර කතා දිගෑරෙනව. සම්බන්ධතා මිතුරුකම් ඇතිවෙනව. අන්න ඒ මිතුරුකම් ඒ දවස්වල තිබ්බ බ්ලොග් ගෙට්ටු වලින් හම්බෙලා කතා බහ කරල තව තවත් ශක්තිමත් කරගන්නව. හරිම සුන්දර කාලයක්. ඔය සුහදතා අතරෙ මේකෙ මරාගත්ත වෙලාවලුත් නැත්තෙ නෑ.. ඒ රණ්ඩු සරුවල්වල උනත් ආයෙ මතක් කරනකොට සුන්දරත්වයක් තියේ නේද කියල හිතෙනව. මං මගෙම පෝස්ට් වල කමෙන්ට් බලනව අදටත් ඉඳල හිටල ආව වෙලාවකට. සමහරු තියල ගියපු ඒ වචන දෙක තුන හරියට සමරු සටහන් වගේ වෙලා අද.  එච්චරට නොස්ටැල්ජික් ෆීලිං එකක් එන්නෙ ඒ කමෙන්ට් බලපුවාම.

හිට්ස් ලක්ශයක් කියන්නෙ ඒ කාලෙ බ්ලොග් ලියපු අයගෙ මයිල්ස්ටෝන් එකක්..  හැබැයි හිට්ස් ලක්ශෙ මගේ බ්ලොග් එකට එනකොට මං ලියන එකයි කියවන එකයි දෙකම අතෑරල දාල. අහම්බෙන් දැක්කෙ මගෙ පුංචි බ්ලොගෙත් හිට්ස් ලක්ශෙ පන්නල. ඉතිං ඒ හිට්ස් ලක්ශෙ පහු උන එකත් වෙන්න ඇත්තෙ දැන් අවුරුදු ගානකට කලින් වෙන්න ඕනි. කොහෙද ඉතිං මේ පැත්ත පලාතෙ එන්නැති කොට ඒව දැනගනීවියැ මම. ඉතිං හිට්ස් ලක්ශයක් ආව කියල මහ ලොකු සතුටක් එන්න කාරනාවක් උනේ නෑ ඒක. හැබැයි ඒ කමෙන්ට් කියවල ඒ කාලෙ මතක අලුත් කරගෙන ඊට වඩා ලොකු සතුටක් ලැබුව නිසා ඒ කාලෙ ලියපු කියපු මේ පැත්තෙ ආව ගිය හැමෝම වෙනුවෙන් පුංචිම පුංචි සටහනක් අකුරු කරන්න හිතුනා. ඒ නිසාම ලිව්වා.  අවුරුදු ගානකින් ලියන නිසා හරිම කැතට ලියවෙන්නෙ. මකල දාන්නත් හිතල, නෑ ඕන්නෑ ඒ කාලෙ මෙහෙ ආව ගිය එක්කෙනෙක් හරි දකියිනෙ කියල හිතල පෝස්ට් කලා.. ඉතිං ඔයත් මේ පැත්තෙ නිකමට හරි ආවොත් ඒ කාලෙ මතක් වෙන්නත් එක්ක පොඩි හරි සටහනක් තියල යන්න හොඳේ.. :) 

ඉතිං මෙහෙ ආවා ගියාට, පොඩි වෙලාවක් වෙංකරල සටහනක් තැබුවට ඔයාට බොහොම ස්තූතියි. නුදුරු දිනයක් නැවත හමුවෙමු. ආදරෙයි. ජයවේවා!!  

සමී.. ( මුදියා)

20 comments:

  1. සමියා ආපහු ලියනවා නම් නියමයි. වෙල්කම් බැක්... දැං ඉතිං සතියකට එකක් විතරවත් ලියමු.

    ReplyDelete
    Replies
    1. සතියකට එකක් තියා අවුරුද්දකට එකක් හරි දාන්න බලන්නම් ඩ්‍රැකී,.. ඒ කාලෙ ඉඳන් නොසැලී නොකැඩී ඩැකී වගේ අය මේකෙ ඉන්නව දකින එකත් හිතට සතුටක්.

      Delete
  2. ආයෙ ඊලඟ අවුරුද්ද වෙන්න කලින් තව මොන මොනාහරි ලියමු ඈ 😁

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු. :) ඔයා කියනවනම් නොලිය කෝමද නේ ? ;)

      Delete
  3. ආයෙ ඊලඟ අවුරුද්ද වෙන්න කලින් තව මොන මොනාහරි ලියමු ඈ x2 🙏😁

    ReplyDelete
    Replies
    1. කාර්තුවකට එකක් දාන්නද ? :D

      Delete
  4. අපේ බ්ලොග් නැත්තේ ඇයි අපි කළුද

    ReplyDelete
  5. මම බ්ලොග් ලියන්න පටන්ගත්තෙත් ඒ කාලෙම වගේ තමා 2013. හැබැයි ඒ පැත්තේ ඔයා ඇවිත් නැහැ. විරුද්ධ පාර්ශවේ වෙන්න ඕනේ 😀

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ හිටපු අයගෙන් මඟ ඇරුණු අය ඉන්න පුලුවන් ඉඳල හිටල. හැබැයි බ්ලොග් ගෙට්ටුවකට ආව නම් වරදින්න විදියක් නෑ

      Delete
  6. එක පාරටම ජීවිතේ මාරම වෙනස් උනා. 2016 තමා අන්තිම ලිපිය, 2010 ඉස්කෝලෙ IT ලැබ් එකේ පටන් ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. බොල්ත් මොනව හරි ලියල දාහං අර පක්ඉරුවෙ.

      Delete
    2. මං ගිහිං බැලුව ඒ පැත්තේ.. 2013දිම නවත්තල 2016දි පොඩ්ඩක් මකුළුදැල් කඩල දාල දාල ගිහින් නේද ? ආයෙ ලියමුද ?

      Delete
  7. Replies
    1. ඔයාව අමතක මනුස්සයෙක් මේ බ්ලොග් කෙරුවාවෙ නං ඉන්න විදියක් නෑ දෙමල න යන්නෙ ප්‍රසන්න අයියේ. හි හි

      Delete
  8. අපේ ලයිෆ් ස්ටයිල් කන පිට හැරවුනා මේ සමාජ මාධ්‍ය බූස්ට් එක නිසා. ඒ කාලේ මතක සුන්දරයි. අසුන්දර ඒවා නැත්තෙමත් නෑ. ඒත් ඒ යාලුකම් ඕනම මොහොතක පන ගහල එන්න පුලුවන් විදියේ යාලුකම්. මාත් හැමදාම මොකක් හරි ලියන්න ඕන කියල හිතුවට දැන් නං ඒකට හයියක් නෑ. ඒක නෙමෙයි හිට්ස් තම්බල කන්නද මුදියෝ?

    ReplyDelete
    Replies
    1. දේශාව දැකපු කල්... ඉස්සර මේකෙ ඉතිං මොන තරං ජොලි කරපු මිනිස්සුද නේ ?

      Delete
  9. ලියන්ඩ පුළුවන් වෙලාවක ලියන්ඩ සමියලා ලියන්න ගත්තු කාලෙ තමා අපිත් ලියන්න පටන් ගත්තේ හැලි හැලී ඇදි ඇදී තාම ඇදන් යනවා.

    ඒ කාලේ බ්ලොග් තිබ්බේ වෙනම ලෙවල් එකක නෙව. දැන් බුකියේ ඉන්න සෙලිබිට් ලා වගේ තමා ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. ඔයා එක අවුරුද්දක් මඟ නොඇරෙන්න ඒක කරල තිබ්බ විදිය නං මරු.

      Delete
  10. වෙල්කම් බැක්! දිගට ලියමු! දහ දොළොස් අවුරුද්දකට කලින් අපි ලියන්න ගත්ත කාලෙ ඇක්ටිව් බ්ලොග්ස් ආයෙ පණ ඇවිත් තියෙනවා දැක්කම මාර සන්තෝසයි!

    ReplyDelete
  11. ඔබ සෑහෙන කලෙකින් ලියලා. අපි ඔබේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩිකෙටරයේ "බ්ලොග් සඟරා" කොලමේ පෙල ගස්වා ඇත. අපගේ "සඳකඩපහන සින්ඩිය" මෙරට බ්ලොග් ක්ෂේත්‍රයේ වඩාත්ම පුළුල්ව පැතුරුණු සින්ඩියයි!
    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොග් අඩවිය තුල ප්‍රචාරණයක් ලබා දෙන්නේනම් බෙහෙවින්ම ස්තූති වන්ත වන්නෙමු!

    ReplyDelete