Sunday, February 22, 2026

කලකට පස්සේ වෙලකට බැස්සේ | After a long while

 කාලය යන ඉක්මන.. 

එහෙ බලල මෙහෙ බලන ටිකට 2026 අවුරුද්දෙනුත් මාස එකාමාරක් ඉවරයි නේද? මාර වැඩේ කියන්නෙ එන්න එන්නම කාලය ගත වෙන වේගෙ වැඩි වෙනව කියල හිතෙන්නෙ නැද්ද ඔයාලට?  ඇත්තටම එහෙම හිතෙන්නෙ මේ ලෝකෙ කැරකෙන වේගෙ වැඩි වෙලාද නැත්තං අපේ ඔලුවෙ තියන මනස්ගාතයක් හින්දද කියන එක කල්පනා කරන්නවත් වෙලාවක් අපිට නෑ දැන්. හැබැයි නිකමට හිතල බැලුවාම ඉස්සර අවුරුද්දක් ගෙවිල යනවට වඩා  හැටට හැටේ වේගෙන් මේ ලඟ ලඟ එන අවුරුදු ගෙවිල යනව කියල ඔයාලට නිකමටවත් හිතිල නැද්ද? වයසෙ වැරද්දද, කාලෙ වැරැද්දද, වෙන මොකක් හරි එකක වැරද්දද කියන්න මටත් තේරෙන්නෙ නෑ. මේ අද ඊයෙ කසාද බැඳපු උං එකවරසට පොඩි එකාව දාන පොටෝ බුකිය පුරා දානකොට තමයි තේරෙන්නෙ ‍යකඩෝ මේ කාලෙ යන ඉක්මන කියල. 

මේ ලියන්නෙ හුඟක් කාලෙකින්. කොටින්ම දැන් ලියන්න තියා කියවන්නවත් අපිට වෙලාවක් නෑනෙ. ඇත්තම කිව්වොත් අපිට වෙලාවක් නැත්තෙ නෑ.. අපිට දැන් කියවන්න ලියන්න ඕනි නෑ. මොකද අපිට ඊට වඩා ලල් එකක් දෙන බක්කක් තියනවනෙ සෝශල් මීඩියා කියල. අපි ඒකට ඇබ්බැහි වෙලා වීඩියෝ බල බල ඉන්නව. කොටින්ම අහවල් සෝශල් මීඩියා එක ඇතුලෙත් ඉඳ...ල හිටල පොටෝ එකක්, ලයික් එකක් දානව ඇරුනම, දැන් ඉස්සර වගේ පෝස්ට් එකක්, කමෙන්ට් එකක්වත් දාන්නෙ නෑ නේද කියල; සංවාදයක් කරන්නෙ නෑ නේද කියල; පැල් බැඳං තර්ක කරන්න යන්නෙ නෑ නේද කියල කල්පනා කෙරුව වෙලාවක මටම හිතුනා. කොටින්ම අපි ඒ හැමදේම අතෑරල දාලා..  අපිට වැඩක් නෑ, අපි ඕවට නෑ, අපි ඉන්නේ අපේ පාඩුවේ සීන් එකේ ඉන්නෙ.  අපි පරිනත වෙන්න වෙන්න ඒක එහෙමයි.  

අපි පොඩි බබාලට තියන එකම විනෝදේ සෝශල් මීඩියා වීඩියෝ...  වීඩියෝ... වීඩියෝ...  ඇඟිල්ලෙන් උඩට කලාම තවත් වීඩියෝ එකකට,  එතනින් තවත් වීඩියෝ එකකට,  එතනිනුත් තව තවත් වීඩියෝ වලට යන මෙතඩ් එක හොයාගෙන මේකෙ අතෑරිය එකාව හම්බෙනකං ඉන්නෙ හොම්බට දෙකක් අනින්න. එච්චරටම බලන බලන තැන අපි ඔයාල හැමෝම ස්වයිපප් කර කර වීඩියො බලනව. 

කාලෙන් කාලෙට අපේ පුරුදු වෙනස් වෙනව තමයි. හැබැයි ඒ පරන පුරුදු අපි ලඟ තිබිලා මේ අලුත් පුරුදු නැති උනා නම් කියල හිතෙන වෙලාවල් එනව කියන්නෙ මොන වගේ අංජබජල් තත්වයක්ද නේ? පොතක් පතක් කියවල සඟරාවක් කියවල ටීවි එක බලල සින්දුවක් දෙකක් අහලා බ්ලොග් එකේ මොනා හරි කොටලා සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවල දාපු කාලෙ මතක් වෙනව නේද ? ඒ කාලෙත් අපි සාමාන්‍ය විදියට වැඩ කලා, ඉගෙනගත්තා, විභාග ලිව්වා, රස්සාවල් කලා. අපි දැනුත් ඒව කරනව. ඒ උනාට අපි ලඟ තිබුන ඒ වටින පුරුදු අපෙන් දුරස් වෙලා යන්නම ගිහිල්ලනෙ. ඒ වෙනුවට ඊට වඩා ආතල් එකක් අපිට දැනෙන ඒ උනාට ඒ ආතල් එකට වඩා පරණ, අපි පුරුදු වෙලා හිටිය, අහිංසක ආතල් පුරුදු හොඳයි කියල හිතෙන හත්වලාමේ මේ සෝශල් මීඩියා කෙලිය ගැන නං පුදුම හිතෙනව වෙලාවකට..

ඉස්සර මිනිස්සු බස් එකේ කෝච්චියෙ උනත් ගියෙ වට පිට බල බල උනාට දැන් උබල අපි හැමෝම මොන තූත්තු කුඩියෙ ගියත් බෙල්ල පාත් කරං අර නල්ල මලේ ගඩොල් බාගෙ දිහෑ බලාගෙන ඒකට හිනා වෙවී වෙනම ලෝකෙක ජීවත් වෙනව. අන්තිමට බලපුවාම කාලෙ රූ.......ං ගාල ගෙවිල ගිහිං අපිට ටටා බායි කියල. 

මං මේ බ්ලොගේ මකුළු දැල් කඩන්න හිතුවෙ ඔයැයිලට සෝශල් මිඩියා ඕනිවට ලංකරගන්න එපා කියල අනුශාසනා දෙන්න නෙමෙයි ඕං වැරදියට නං හිතන්න එපා.. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියල කියමනක් තියනවනේ.. ඉතිං ඒක හින්දා මමත් කාගෙන් හරි බණක් අහල ඒක පිලිපදිනව මිසක් ඔය බණ නං මං දේශනා කරන්න යන්නෙ නෑ.. 

සිංහල බ්ලොග් කරුවෝ  කියල ඉමේජ් එකක් ඉල්ලුවම සිංහල මුල් සරමෝ කියල ඉමේජ් එකක් AI දෙයියා දුන්නා :D

කාලය ගෙවිලා යන ඉක්මන කියල මට මේ මතක් වෙලා මේකෙ කොටන්න නිකමට හිතුනේ.. හරිම අහම්බෙන් අනේ මටත් බ්ලොගයක් තිබ්බනේ කියල මොකක් හරි හේතුවකින් අවුරුදු ගානකින් මේකට ලොග් උනාට පස්සෙ. ඔයාලට කියන්න මේක ලියන එක මට අතෑරුනේ  2017දි විතර. ඒ කියන්නෙ මීට අවුරුදු 8කට 9කට ඉහත්තාවෙදි. ඔය ෆේස් බුක් එකේම, මං ඊටත් කලින් ලියපු විකාරයක් ගෙනල්ල අවුරුද්දට එක පෝස්ට් එක ගානෙ මේකට අතෑරල පැත්තවත් නොබල යන්න ගිහිනුත් 2019 අවුරුද්දෙ ඉඳන් බල්පුවාම දැන් අවුරුදු හයක්ම ගෙවිලා ගිහින්. ඊටත් කලියෙන් ඒ කියන්නෙ අපි ඔය බ්ලොග් ලිව්වයි කියන කාලෙ උනත් මේකෙ මහ ලොකු දේවල් ලිව්වෙ නෑ තමයි. හැබැයි මිත්‍රවරුනි බ්ලොග් ලියන එක, කියවන එක, බ්ලොග් ලෝකෙ මිනිස්සු දැන ඇඳින ගන්න එක, කතා බහ කරන එක අපේ ජීවිතේ කොටසක් වෙලා තිබ්බ කාලයක් තිබුනා.. ඉතිං ඒ මතක ආයෙ ආයෙ ආවර්ජණය වෙනව ඉඳල හිටල මේකට ගොඩ වැදිල යනකොට. කොටින්ම පෝස්ට් එකේ ලියල තියන දේවල් වලටත් වඩා කමෙන්ට් දාන අපේ ඒ කාලෙ දුටු නොදුටු බ්ලොග් යාලුවන්ගෙ කමෙන්ට් ආයෙ ආයෙම ඒ ලස්සන අතීතය මතක් කරනව.

යාලුවො අද නැත - වෙන අය එහි ඇත.. කියලවත් කියන්න බැරි තත්වයක් අද බ්ලොග් ලෝකෙට වෙලා තියෙන්නෙ. සමහර විට අපි ෆලෝ කරපු ලිස්ට් එක ඇරුණම වෙනම සෙට් එකක් දැන් බ්ලොග් ලියනවද දන්නෙත් නෑ. හැබැයි රීඩිං ලිස්ට් එක දැක්කම නං කලාතුරකින්වත් මකුළු දැල් කඩල දාන්න ඒ කාලෙ හිටපු උන්දැලටත් හිතක් නෑ වගේ.. මාතලන් වගේ බ්ලොග් පතාකයො එක්කෙනෙක් දෙන්නෙක් නං තාම ලියනව දැක්ක මං. ඒ උනාට ඒවට තියන ප්‍රතිචාර කමෙන්ටු ඒමත් හරිම අඩුයි. පොලිටික්ස් ලිවිල්ල එච්චරම සෙට් නැති නිසා ඒව බලන්න හිතෙන්නෙත් නෑ දැන්. 

ඉස්සර බ්ලොග් වල, පෝස්ට් අස්සෙ වෙනම කතාවක් දිගෑරෙනකොට; කමෙන්ට් අස්සෙ වෙනම සුන්දර කතා දිගෑරෙනව. සම්බන්ධතා මිතුරුකම් ඇතිවෙනව. අන්න ඒ මිතුරුකම් ඒ දවස්වල තිබ්බ බ්ලොග් ගෙට්ටු වලින් හම්බෙලා කතා බහ කරල තව තවත් ශක්තිමත් කරගන්නව. හරිම සුන්දර කාලයක්. ඔය සුහදතා අතරෙ මේකෙ මරාගත්ත වෙලාවලුත් නැත්තෙ නෑ.. ඒ රණ්ඩු සරුවල්වල උනත් ආයෙ මතක් කරනකොට සුන්දරත්වයක් තියේ නේද කියල හිතෙනව. මං මගෙම පෝස්ට් වල කමෙන්ට් බලනව අදටත් ඉඳල හිටල ආව වෙලාවකට. සමහරු තියල ගියපු ඒ වචන දෙක තුන හරියට සමරු සටහන් වගේ වෙලා අද.  එච්චරට නොස්ටැල්ජික් ෆීලිං එකක් එන්නෙ ඒ කමෙන්ට් බලපුවාම.

හිට්ස් ලක්ශයක් කියන්නෙ ඒ කාලෙ බ්ලොග් ලියපු අයගෙ මයිල්ස්ටෝන් එකක්..  හැබැයි හිට්ස් ලක්ශෙ මගේ බ්ලොග් එකට එනකොට මං ලියන එකයි කියවන එකයි දෙකම අතෑරල දාල. අහම්බෙන් දැක්කෙ මගෙ පුංචි බ්ලොගෙත් හිට්ස් ලක්ශෙ පන්නල. ඉතිං ඒ හිට්ස් ලක්ශෙ පහු උන එකත් වෙන්න ඇත්තෙ දැන් අවුරුදු ගානකට කලින් වෙන්න ඕනි. කොහෙද ඉතිං මේ පැත්ත පලාතෙ එන්නැති කොට ඒව දැනගනීවියැ මම. ඉතිං හිට්ස් ලක්ශයක් ආව කියල මහ ලොකු සතුටක් එන්න කාරනාවක් උනේ නෑ ඒක. හැබැයි ඒ කමෙන්ට් කියවල ඒ කාලෙ මතක අලුත් කරගෙන ඊට වඩා ලොකු සතුටක් ලැබුව නිසා ඒ කාලෙ ලියපු කියපු මේ පැත්තෙ ආව ගිය හැමෝම වෙනුවෙන් පුංචිම පුංචි සටහනක් අකුරු කරන්න හිතුනා. ඒ නිසාම ලිව්වා.  අවුරුදු ගානකින් ලියන නිසා හරිම කැතට ලියවෙන්නෙ. මකල දාන්නත් හිතල, නෑ ඕන්නෑ ඒ කාලෙ මෙහෙ ආව ගිය එක්කෙනෙක් හරි දකියිනෙ කියල හිතල පෝස්ට් කලා.. ඉතිං ඔයත් මේ පැත්තෙ නිකමට හරි ආවොත් ඒ කාලෙ මතක් වෙන්නත් එක්ක පොඩි හරි සටහනක් තියල යන්න හොඳේ.. :) 

ඉතිං මෙහෙ ආවා ගියාට, පොඩි වෙලාවක් වෙංකරල සටහනක් තැබුවට ඔයාට බොහොම ස්තූතියි. නුදුරු දිනයක් නැවත හමුවෙමු. ආදරෙයි. ජයවේවා!!  

සමී.. ( මුදියා)

Tuesday, December 31, 2019

෴හැරයන්න රත්තරන් සොයන් ලොකය නුඹේ..෴



මට උන්නු මගෙම උනු පුංචි කුමරියෙ මගේ..
නුඹ ලඟින් ආදරෙන් හිටිය හැටි මට අගේ..
ගියත් නුඹ මා වෙතින් අරං සුලඟින් අනේ..
තරහ නෑ සත්තමයි නුඹ මගේ නුඹ මගේ..

සුළි සුළං අරං ගිය මගෙම උනු ආදරේ..
මද සුලඟෙ පාව විත් මගෙ ලඟට පෙර වගේ..
උතුරන්න ආදරේ තිබුන මුත් මගෙ හිතේ..
බෑ මැණික මට එන්න නුඹ ලඟට පෙර වගේ..

දුක වගෙම තනිකමත් පිරුණ මුත් මගෙ හිතේ..
ඉවසගෙන හැමදාම ඉදිමි මං මේ වගේ..
ඉඩ නොදී මගෙ ලොවට නුඹෙ පුංචි ලෝකයේ..
හැරයන්න රත්තරන් සොයන් ලොකය නුඹේ..

-සමී
(2014.09.15)

----==------=-------=--------=-------=------

2019 අවුරුද්ද ඉස්සරහින් හිස් තැනක් තියන්නම බැරි හින්දා ඉස්සර ලියපු බොළඳ මගුලක් ගෙනත් අතෑරියා. එළඹෙන්නා වූ දශකය වාසනාවන්ත සුබ නව දෂකයක් වේවා..

සුබ නව වසරක්!!!

Monday, December 31, 2018

එන්ඩ යන්ඩ උගන්ඩ (Fun Facts about Uganda)

දැනුම පොතට උගන්ඩ 


1. මෙහේ සිටින සෑම මෝටර් බයිසකල්කරුවෙක්ම ටැක්සි කාරයෙක් ය. පාරේ සිටින විට ලගට ඇවිත් නැගපං කියා කියයි. නගින්ඩ සල්ලි අනවශ්‍ය අතර බහින්ඩ සල්ලි අවශ්‍යය. නමුත් ලාබදායීම ප්‍රවාහන ක්‍රමය මෙයය.

2. හිත හොඳ මිනිස්සු කියා ජාතියක් මෙහේ නැත. පාර්ලිමේන්තුවෙ ඉන්න එකා සල්ලිකාර හොර මැරයාය. පොඩි මිනිහා දුප්පත් හොර මැරයාය. එවුරිවෙයා කරප්සන් ය

3. රෑක කොල්ලෙකුට වුවද පාරේ තනියම යාම හෙනම භයානකය. ගෑනු ළමයෙකු ලංකාවෙදී රෑ තනියම ගමනක් යනකොට හිතේ ඇතිවෙන දේ දැනගැනීමට උගන්ඩ ආ යුතුය.

4. හරක් බලන එකත් අඳින්නෙ පුල් සූට්ය. සපත්තු ඕනෑමය. ශෝටක් ඇඳං සෙරෙප්පු දෙකක් දාගෙන යන එවුං දිහෑ මුං බලන්නේ පල් එකටය. මුං නාවර පෙරාගෙන දූවිලි වකාගෙන එකම ෆුල් සූට් එකම නොහෝඳා ඉරෙනකම්ම අඳිති. ඉරුණට පසුවත් අඳිති.

Monday, June 19, 2017

සොඳුර කියනු කරුණ කිමද උඹ මං වෙත යළි නොආපු!

අතීතයේ ටික දවසක් මාත් එක්ක එකට ආපු
ආදරයේ මුලකුරු වල හැඩය මෙයැයි මට කියාපු
ජිවිතයේ බොහෝ දුරක් එකට යන්න මං හිතාපු
සොඳුර කියනු කරුණ කිමද උඹ මං වෙත යළි නොආපු

සමුගනිද්දි පවා මුවින් වචනයකුදු නුඹ දොඩාපු
රුදුරු උනේ නැතිවග යළි ‍යලිත් වරක් හිතට ආපු
මොහොතක සුව කල්ප කාල සියක් දහක් නම් දරාපු
වටිනව මට සත්තයි නුඹ මාත් එක්ක එකට හිටපු

සමුගත් දා පටන් බොහෝ මල් කුමරියො නම් දරාපු
විකසිත උනු හැටි මතකයි නෙතු අද්දර මං බලාපු
නමුත්ඈත ක්ශිතිජ ඉමේ පුංචි තරුව නුඹ පායපු
එමල් වලින් නොලද සතුට නිරතුරුවම මට ගෙනාපු

දෑ වසරක මතක එක්ක පස් වසරක් මඟ බලාපු
අමතක කළ නොහැකි මතක මං ලඟින්ම නුඹ තියාපු
එ මතකය ගුලි කරලා විසි කරන්න මං හදාපු
නොහැකි උනා එදා වගෙම අරුම කිමද උඹ මවාපු
-සමී-

Monday, February 27, 2017

පසළොස් වසරක හැංගුණ මතක







ගම්පහ බණ්ඩාරවත්ත  ම‍ංසන්දිය වෙත ලඟා වෙත්ම පෙර අත් නොවිඳි අමුතුම මිහිරියාවකින් මසිත ඔද්දල් වන්නට පටන් ගත්තේ මටත් හොරාය. පහුගිය අවුරුදු පහළොව පුරාවට මවිසින් එකී බණ්ඩාරවත්ත මං සන්දිය අනේක වාරයක් පසුකරනට ඇත. නමුත් ඒ කිසිම දවසක නොවිඳි මේ සුන්දර හැඟීම මසිතේ ඇතිවීමට මෙදින සුවිශේෂී  දිනයක්ම විය.

ජීවිතේ කාලයක් පුරාවට හිතේ කොනක තැන්පත්වී තිබුණු ආදරයක් සොයා මා පියනඟන මොහොතක මසිත එපමණටම සතුටින් පිරී ඉතිරී යාවියැයි මම කිසිම දිනක නොසිතුවෙමි. සැබැවින්ම මම ඈ කරා ගියෙමි. පසළොස්වසරකට පසු ඈ දැකගන්නට ගියෙමි. ඇගේ සෙනහස විඳගන්නට ගියෙමි. හිත්කොනක තැන්පත් වී තිබුණු උතුරා යන සෙනහසත් , ආදරයත් කැටුව ඇගේ සුවදුක් විමසන්නට ගියෙමි.

Wednesday, February 15, 2017

මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ...





පසුගිය කාලයේ ජීවිතයේ සිදු උනු හැලහැප්පීම් රාශියක  කටුකත්වයත් එනිසා ඇති වූ හිස්බවත්, දරාගත නොහැකි තනිකමත් කරපින්නාගත් මා නුවර පැමිණියේ එකම එක අරමුණක් හිතේ පෙරදැරිවය.. අතීතයේ දවසක මා දිවියේ තාවකාලික නවාතැනක් බවට පත්ව තිබුණු මහනුවර නගරයට මම බොහෝ ඇලුම් කලෙමි.  තරමක හෝ අස්වැසිල්ලක්, සැනසීමක් නුවර අහස යට මට හිමිවන බැව් මම විශ්වාස කළෙමි.. එදා මෙන්ම අදටද නුවර අහස මට සිසිල්ය..සුවදායකය.. කිසිදු අරමූණකින් තොරව  දුක් සෝ සුසුමන් මැද ගෙවුනු ජීවිතයේ තනිකම තව දුරටත් දරාගත නොහැකි තැන මේ ගමන පැමිණියද ඒ ගමන පුරාවට මටත් හොරා පිටවුණු පසුතැවීමේ සුසුමන් අනන්තය, අප්‍රමාණය.

උදේ සිට, සිව් වසරකට සෙවණ දුන් පේරාදෙණිය සරසවියේත්, පේරාදෙණිය නගරයේ සහ මහනුවර නගරයේත් ඉබාගාතේ සැරි සරමින් අතීතයේ කළ කී දෑ  මෙනෙහි කරමින් ශෝකබරිතව වියැලුනු සිත් කතරට සිහින් සතුටක වැසි බිඳු ලබා දීමේ අසාර්තක උත්සාහයක නියැලුණෙමි. සැඳෑවේ දළදා වහන්සේ වැඳපුදාගැනීමෙන් අනතුරුව යම් කිසි අස්වැසිල්ලක් ලද්දෙන් නැවත කොළඹ බලා යාමට මම තීරණය කළෙමි.

Monday, June 20, 2016

හණුකුරුප චිත්‍රපට කර්මාන්තය(හණුකුරුප 2 කොටස)-Why these movies meant to be bad?



හනු කුරුප පලවෙනි පරිච්චේදයෙන් පසු අවුරුදු දෙකක කාලයක් ඉක්ම ගිය තැන බොහෝ දෙනෙක් පුල පුලා බලාගෙන සිටි හණුකුරුප දෙවෙනි පරිච්චේදය මෙසේ ඇරඹෙන්නේය. කියවන්නට පටං අරගන්නට පෙර නැවතත් පැවසිය යුතු දෙයක් ඇත. එනම් මෙම ලිපිය තුළ කිසිදු අසභ්‍ය වචනයක් නොමැත.. ඔබ මෙහි අසභ්‍ය වචන දකින්නේ නම් ඒ මගේ නොව ඔබේ අවුලක්ය. :D එසේ හෙයින් ලියා තියන දේ එලෙසින්ම කියවා ලිපිය තේරුම් ගනු විනා වචන එහෙ මෙහෙ කරමින් කියවා ලිපිය අග මුල නොතේරෙන ලිපියක් බවට හරවා ගෙන අවසානයේ මට දෙස් දෙවොල් තියන්නට විතරක් එපාය :D ලිපියේ ගලායෑම සිදුවන්නේ මේ ලියා තියන අයුරින්ම කියවූවොතින් පමනක් බව ඔබට මතක් කර දෙමි. නමුත් පටලගන්නම බලාගෙන සිටින අය වෙනුවෙන් කී දේ නාහන යකා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි යනුවෙන් කතාවක් ඇති නිසා වචන කීපයක් පටලා ගැනීම සදහාම හයිලයිට් කර දී ඇත :D ඉතින් හිතවත් පාඨකය පටලාගෙන මනස දූෂනය කරගැනීම ඔබ සතුය :D