Friday, April 11, 2014

හොඳම අවුරුදු තෑග්ග | The New Year Gift

නංගි.. නංගි...

"අපි යනව කජු පුහුලම් ඇහිඳින්න.. ඔයා එන්නෙ නැද්දෝ.."

සුපුරුදු පරිදි සිරි අයියා උදේ පාන්දරම නඩේත් එක්ක ඇවිදින් ..පුරුද්දක් විදියට අවුරුදු කාලෙ උදේම මේ ළමා නඩේ කජුපුහුලම් ඇහිදින්න කජු ලන්දට යන එක පුරුද්දක් කරගෙන තිබුනා.. කලින්දා රෑ වවුල් රංචු හප කරපු කජු පුහුලම් අතරේ හොඳ ගෙඩි හොයාගන්න එච්චර අමාරු උනේ නෑ.. සිලි සිලි මල්ලකට ඒ හප කරපු කජු පුහුලම් එකතු කරන ගමන් බිම වැටිල තිබුනු ඉදිච්ච කජු පුහුලම් ටික කට දෙපැත්තෙ ඉස්ම බේරි බේරි කන්න මේ පොඩි උං රංචුවට පුදුම ආසාවක් තිබුනා..

මේ ලපටින්ගෙ අම්මලත් මේ කජු ලන්දට යන ගමන කොයිම විදියකටවත් විරුද්ධත්වයක් පලකලේ  නැත්තෙ සිලි සිලි මලුවලට දාගෙන ගේන කජු ටික මහන්සියකින් තොරවම ගෙදරටම මේ පොඩි උං ගේන නිසා... අවුරුද්දට කාලෙට පිහෙන රසම රස කජු වෑංජනේට ගමේ කොයි කවුරුත් ආස කලා..