Friday, December 27, 2013

මගේ තිඹිරිගෙය | First Poem ever..

 කලාව කියන දේ මෙන්න  මේකයි කියල කාටවත් නිර්වචනය කරන්න බැරි උනත් කෙනෙක්ගෙ හිතේ ඇතිවෙන සිතිවිල්ලම එක්තරා ආකාරයක  කලාවක් ලෙස හදුන්වන්න පුලුවන් .. කෙනෙක් තවත් දෙයක් දිහා බලන විදියම එක්තරා ආකාරයක කලාවක්.. ගහක් හුලඟට සෙලවීමෙත් මෙන්න මේ කියන්නාවූ කලාව තියනවා..නිහඩ බව තුළ උනත්  අප නොසිතන තරමේ  කලාකාමී බවක් ගැබ්වෙලා තියෙනවා.. නමුත්  සමහරු දන්නෙ නෑ  මේ කලාව කියන දේ තමන් ලඟ තියනවද නැද්ද කියලවත්..  ඒ අය කවදාකවත්  තමංගෙ හැකියාවට කවදාවත් ඉස්මතුවෙන්න නොදී  සිතිවිලි තුළ ඇති කරගන්නවා අනේ මට මේ දේ නම් කොහොමටවත් බෑ කියන සංකල්පය.. ඒ සංකල්පය ඔවුන්ගේ සිතිවිලි අන්ධකරවනවා..  

ඉතින් කවදම හරි ඔබ උත්සහ කරල තියනවද ඒ හිත ඇතුලෙ හදාගෙන ඉන්න සීමාව  කඩා බිදගෙන එය ඉක්මවා යන්න  ? තමන් තුළ තමාට නොහැකියැයි කියල තිබුන සිතිවිල්ලක පවුරු බිදීන්න ?  මම ඒ දේ යම් තරමකින් හො ජයගත්තා මීට ටික කාලෙකට කලින්.. ඒ තමයි මගේ කවියේ තිඹිරිගෙය...

Sunday, December 22, 2013

පළමු මඩ මුරය!!! :D :D | Cyber Mega Beach Party 2013

පොටෝව නිර්මාණය කල සිංහ රජාට මාගේ ප්‍රමණය..

 මේ අවුරුද්දට තුන්වෙනි පාරටත් කට්ටිය සෙට් උනෝය.. කියන්ඩ දේවල් එමටය.. ඒත් මේ දවස් ටිකේ ඔලුව ප්‍රශ්නෙක සෑහෙන්න හිරවෙලාය.. ඒ නිසා ගම්පහ ගෙට්ටුවට තරං වැඩිවේලා අරගෙන ලියන්න  නොහැකිය..  ඊයේ රෑ හිටපු ඈයෝ නං ගෙවල් වලට ගියාදැයි සැක සහිතය.. වැනෙන කුක්කු බිව් ඈයොන්ගේ හොද හොද සෙල්ලම් බලාගන්න කලියෙන් සමියාට ගෙදර එන්නට සිදු උනේය..

කොහොමින් කොහොම හරි මෙවර ගෙට්ටුව අතිසය සාර්තකය... බීච් එකේ  නටල මූදේ නාලා කාල බීලා කට්ටිය මදි නොකියන්න විනෝද උනෝය.. සමියාට පොඩි වගකීමක් තිබූ බැවින් මෙවර වැඩියෙ එක් එක්කෙනා සමඟ කතා බහ කරන්න නම් වෙලාවක් ලැබුනේද නැත .. සමියා ඒ පිලිබදව සමාව අයැද සිටින්නේය.. ඊලඟ පාරක කතා බහ කරන්නට පුලුවන්ය.. ඒ ගැන අහිතක් හිතන්ට එපාය.. අලුත් මූණු ගොඩාක් පැමීන සිටියෝය.. උස් පහත් කම් නම් දකින්න තිබුනේම නැතිය.. සබැවින්ම එය සතුටට කරුණක්ය.. කබ්බෝද ජෙප්පෝද කොටස් වලට නොබෙදී සහයෝගයෙන් විනෝද වූවෝය..

Tuesday, December 10, 2013

මමී සමඟ මමී බලපු හැටි (part - 3) - අවසානය සහ විනාශය | Oh nO!! No More Kisses

පෙර කොටස් වෙත ..


සතියක් ගෙවිල තවත් සතියකට ඇරඹුම ලබාදෙමින්  බටහිර අහසේ පූර්න චන්දරේ බැසයද්දි නැගෙනහිර අහසේ කාන්තිමත් එළි විහිදුවමින් සූර්ය රාජයා පායන්න පටන් ගත්තෙ ස්වකීය රශ්මි කදම්භය කම්පූටර් රාජයා සහ මාගේ පශ්චාත්භාගය මත පතිත කරමින්.. හමාගෙන ආ මද සුලඟ පවා මගේ කර්නසංකය සන්තර්පණය කරමින් මුමුණන්න පටන් ගත්තෙ "මමී.. මමී.. මමී.. වැනි වචන පෙලක්.. මගේ මුලු ගත සිතම ප්‍රභෝධමත්වෙලා පිපිච්ච සූරියකාන්ත මලක් වගේ... අදයි ඒ දවස .. අපි හැමොම පුල පුලා බලා සිටි  මමී බලන දවස..

Thursday, December 5, 2013

මමී සමඟ මමී බලපු හැටි (Part - 2) - උම්මා නැති ෆිල්ම් එකක් | Preparation for dumb end -_-

පඳුර වටේ තැලුවට මොකද කතාව කියන්න ඉඩක් ලැබුනේ නෑනේ.. ඒනම් කලින් ආවෙ නැති අය පල්ලෙහා තියන ලින්ක් එකෙන් නයිට් රයිඩර් කෝලමත් බලලම එන්න..

"මමී සමඟ මමී බලපු හැටි ( Part - 1 ) - නයිට් රයිඩර්, උම්මා එක සහ ළමා මනස | Knight Rider's hot Kissing :D"

---------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------

ඉස්සර හැමදාම ඉරිදා කියන්නෙ  යාලුවො ඔක්කොම අපේ ගෙදර සෙල්ලම් කරන දවස..  දහම් පාසල් ගිහින් ගෙදර ආපු හැටියෙ  සන්ඩේ ඉස්පෙශල් කිරිබත  කන්න ඉඩක් නොතියා  ගමේ ඉන්න කොල්ලො රොත්ත බුරුත්තම අපේ ගෙදර එන්න පුරුදු වෙලා හිටියා .

මිදුලෙ ටිකක් වැඩිපුර ඉඩ තියෙන හින්දත් ගේට්ටුව ලඟ  ඉඳලා ගෙදර වෙනකම් පිච් එකක් වගේ පාර තිබුන හින්දත් ක්‍රිකට් ගහන්නම කියාපුම තැනක් තමයි අපේ මිදුල.. ඒකාලෙ පුංචියට තිබුනු ගහකොල දැන් ගොඩක් උසට වැඩිල හින්දා දැන් නම් ක්‍රිකට් ගහන්න ඒ තරම් ඉඩකඩක් නෑ.. කොහොම උනත් ඒ කාලෙ අපි හැමොගෙම නිදහස් නිවහල් ක්‍රීඩා භූමිය තමයි අපේ මිදුල ..

ඉතින් ඒ කාලෙ මහ දවල් ගිනියම් අව්වෙ ක්‍රිකට් ගහන්න පටන් ගත්තාම ආයෙ  සෙල්ලම ඉවර වෙන්නෙ කලුවර වැටිල බෝලෙ පේන්නෙ නැතුව ගියාම තමයි. බොහොම කලාතුරකින් දවසක ඉඳල හිටල කට්ටිය කැරම් අතක්  ගහල තේ බිබී ටි.වි එක බලනව   ඇරෙන්න වෙන කිසි විශේෂත්වයක් අපි කාටවත්ම තිබුනෙ නෑ ඔය ඉරිදා කියන දවසෙ  ක්‍රිකට් ගහන එක ඇරෙන්න

Friday, November 15, 2013

මමී සමඟ මමී බලපු හැටි ( Part - 1 ) - නයිට් රයිඩර්, උම්මා එක සහ ළමා මනස | Knight Rider's hot Kissing :D

  අපෙ ගෙදර පුංචි පවුලක්. මමයි අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ . ඒ කියන්නෙ මම තනියෙක්! එකා යකා කියල ආයෙ අමුතුවෙන් අහන්න දෙයක් නෑනෙ . ගෙදර වෙන ලමයි කවුරුවත් නැති උනාම ආයෙ ඉතින් තත්වය අතිශය ශෝචනීයයි.. අම්මගෙයි තාත්තගෙයි ආදරේ, සෙනෙහස උතුරන්න ලැබෙනව වගේම තමයි අනිත් පැත්තට ගෙදරට හොරෙන් කිසි කුපාඩි වැඩක් තක්කඩි වැඩක් කරන්න බෑ.



ඒ වගේම තමයි මට මතකයි ඒ කාලෙ පොඩි දේනුත් මාව සැහෙන්න පරිස්සම් කරනවා. ඔය ළමා මනස දුශනේ වෙන කිසිම දේකට යොමු වෙන්න දෙන්නෙ නෑ.පොඩි දෙයක් ඇති අපේ අම්මට. කොටින්ම කිව්වොත් ටී වි එකේ ගිය නයිට් රයිඩර්, සුපර් මෑන් වගේ ෆිල්ම් එකක්වත් බලන්න දෙන්නෙ නෑ.

මොනවා? .. ඒ මොකද ඒ ..
ඉදහල්ලකො කියනකං..


Tuesday, September 3, 2013

ලාංකීය ජනතාවගේ සියලු ෆේස් බුක් ගිණුම් අත්හිටුවයි! ! All the facebook accounts of Sri Lanka are restricted

ඒ නුදුරු අනාගතයේ දවසකි.. වේලාව උදෑසන 5 පමණ වන්නට ඇත. අසංක තම පරිගණකය ඉදිරියෙන් ඇති පුටව මත ඈඳි ගත්තේ පරිගනකය පණ ගන්වමිනි. ඔහුගේ  අරමුණ වූයේ තම දෛනික දින චර්යාවේ පළමු කර්තව්‍ය ලෙස නොවරදවාම සිදු කරන මුහුනු පොත හෙවත් ෆේස් බුක්  සමාජ ජාල වෙබ් අඩවිය වෙත  පිවිසීමය.

තම බිරිඳ තවම අවදිව නැති බව ඔහු දනී. ඈ අවදි වූයේ නම් ඔහුට මෙම කර්තව්‍ය සඳහා ඉඩක් නොමැත. මන්ද ඈගේද දින චර්යාවේ පලමු අංගය වන්නේ මේ කර්තව්‍යම බැවිනි.. ඈ අවදි වූ සැනින් පරිගණකය තම අණසකට නතු කර ගන්නීය. එවිට අසංක හට මුහුනු පොත සදහා යාමට සිදුවන්නේ තම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනි. ඔහුට එය ප්‍රමානවත් වූයේ නැත.. 

එහෙයින් කලක සිටම ඔහු බිරිඳට පලමු අවදිව පරිගනකය වෙත  යන්නට පුරුදුව සිටියි. බිරිද අවදි වීමට තව පැයක් පමණ ඇත. උදෑසන් ආහාරය පිටතින් ගන්නා බැවින් ආහාර පිසීම ගැන වද විමට උවමනාවක් නැත. එසේ හෙයින් තවත් පැයක පමණ කාලයක්  නිදහසේ මුහුනුපොතේ ආශ්වාදය විඳ ගැනීම ඔහුගේ අරමුන විය..

 පණ ගැන්වූ පරිගණකය ඔස්සේ අන්තර්ජාලය වෙත පිවිසුනු ඔහු තමාගේ මූනුපුස්තක අඩවිය වෙත යාම සඳහා සුපුරුදු පරිදි තම ඊමේල් ලිපිනයත් මුර පදයත් සටහන්  කරයි..

රතු පාටට හුරු  පසු බිමක වෙනදා නොදකින කලු පැහැති අකුරින් යමක් එහි සටහන් වී තිබණද  ඔහු එය නොතැකුවේ තමන් අතින් මුරපදය ඇතුලත් කිරීමේදී කලාතුරකින් සිදුවන අත්වැඅරදීමක් නිසාවෙන් යැයි ඔහුට හැඟුනු නිසාය.. හැඟීමකින් තොරව ඔහු තමංගේ මුර පදය නැවතත් ඇතුලත් කරන්නේ යළිත් මූනු පුස්තක ගිණුම වෙත යාමේ අටියෙනි


Friday, August 30, 2013

පියෙක් වෙන්නට මත්තෙන්.. | The Dream of a Father




සිනිඳු සමනල් සුදු පියාපත් දෑත් මුව පොඩි සිඹ රකින්නයි
රෝස දෙකොපුල් , පුංචි දෑඟිලි තුරුලු කරමින් සතපවන්නයි
ආදරේ යන අකුරු හතරට පිය සෙනෙහෙ තව එක්කරන්නයි
ජීවිතේ මිය යන තුරාවට නුඹම වෙනුවෙන් දිවි රකින්නයි




පුංචි දිදුලන දෑස් විදහා ලොව දිහා බලමින් සිනාසෙන
පියෙන් පියවර පා තබා ජීවිතේ වෙත පා පියුම් ඔසවන
ස්නේහයේ කිරි මූද කලඹා ආදරේ නුඹ ලොව දිනාදෙන
දවස යම් දින උදා වනු ඇත නුඹ නිසා තුටු කඳුළු නැංවෙන


මෙලෝ වසනා සියලු දෙව් බඹ අසිරි මල් දම් වස්සවන දා
ලෝ සතුන් නෑ දෑ සියල්ලන් නුඹ දෙස බලාගෙන සතුටු වන දා
මගේ පොඩි පුතු පියෙන් පිය නැග ජීවිතේ ඉම ජය ලබන දා
මගේ නෙත් දෙක පිය වුනාදෙන් සත්තමයි ඒ දිනේ මතු දා




-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------




පසු සටහන

සමහර වෙලාවට හිතට දැනෙන්නෙ මහ පුදුමාකාර හැඟීම්.. තාත්තෙක් ගෙ ගැඟීම් කෝමද මේ ඉ‍යෙ පෙරේද ඉස්කෝලෙ ගිහින් ඉවර උනු අවුරුදු 21ක කොල්ලෙක්ට දැනෙන්නෙ..දෙයියො තමයි දන්නෙ.
හිතට ආපු සිතිවිල්ලක්.. ඒත් නිමිත්ත හිත ඇතුලෙ ඇති උනු ආදරයක්..

අපේ නැන්දා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් උනා ඊයෙ පෙරේදා පොඩ්ඩක් අසනීප වෙලා. නැවතුනේ ගම්පහ ඉස්පිරිතාලෙ 16 වාට්ටුවෙ .  ඒ වාට්ටුවට යනකොට පහු කරගෙන යන්නෙ අලුත උපන් පුංචි මල් කැකුලු ඉන්න වාට්ටුව. උං දිහා බලාන හිටපු මට උං ගැන පුදුම ආදරයක් දැනුනෙ. සමහර විට ගෙදර එකම ලමය මං උන හින්ද වෙන්න ඇති. මොකද මං පුන්චි කාලෙ කිසිම නංගියෙක් මල්ලියෙක් මට හිටියෙ නෑ. ඒ නිසාම වෙන්නැති මට  පොඩි උං ගැන  මෙච්චර ආදරේ හිතෙන්නෙ.. පොඩි කාලෙ නං පොඩ්ඩක්වත් ආස නෑ පොඩි උංට.. ඒත් දැං නං ඒම නෑ.

ඉතින් මං හිතෙන් තාත්ත කෙනෙක් උනා .. ඒ සිතිවිලි තමයි අර විදියට කවි වලට පෙරලුනේ.
තව ජීවිතේ සහෙන දුර යන්න තියනවා.. ඒත් මේ සිතිවිල්ල මොකද මට ඇති උනේ කියන එක නම් මට තාම  තේරෙන්නෑ.. මූනු පොතේ දාපු මේ කවි පන්තියට සෑහෙන ඉහල ප්‍රතිචාර ලැබුනු නිසා මං මේක මෙතන දාන්න හිතුනා..

මේ පසු සටහන සමහර විට කවියෙ රසය නැති කලා වෙන්නත් පුලුවන්.  නිකම්ම කවි ටික විතරක් දැම්මනං ඇති කියලත් හිතුනා. ආයෙ කාටත් මේ කවි පන්තිය නිර්මාණය වෙන්න  පාදක උනු සිතිවිල්ලට හේතු උනු නිමිත්ත දැනගන්නත් එක්ක මේ සටහනත් එක්කලා

මීට කලින් අම්මෙක්ගෙ ආදරය ගැන කියවෙන මගේ අම්මා මට කියපු අම්මා ගැන තියන විරිදු පන්තියත් බලල එන්න කැමති අය