Wednesday, February 15, 2017

මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ...





පසුගිය කාලයේ ජීවිතයේ සිදු උනු හැලහැප්පීම් රාශියක  කටුකත්වයත් එනිසා ඇති වූ හිස්බවත්, දරාගත නොහැකි තනිකමත් කරපින්නාගත් මා නුවර පැමිණියේ එකම එක අරමුණක් හිතේ පෙරදැරිවය.. අතීතයේ දවසක මා දිවියේ තාවකාලික නවාතැනක් බවට පත්ව තිබුණු මහනුවර නගරයට මම බොහෝ ඇලුම් කලෙමි.  තරමක හෝ අස්වැසිල්ලක්, සැනසීමක් නුවර අහස යට මට හිමිවන බැව් මම විශ්වාස කළෙමි.. එදා මෙන්ම අදටද නුවර අහස මට සිසිල්ය..සුවදායකය.. කිසිදු අරමූණකින් තොරව  දුක් සෝ සුසුමන් මැද ගෙවුනු ජීවිතයේ තනිකම තව දුරටත් දරාගත නොහැකි තැන මේ ගමන පැමිණියද ඒ ගමන පුරාවට මටත් හොරා පිටවුණු පසුතැවීමේ සුසුමන් අනන්තය, අප්‍රමාණය.

උදේ සිට, සිව් වසරකට සෙවණ දුන් පේරාදෙණිය සරසවියේත්, පේරාදෙණිය නගරයේ සහ මහනුවර නගරයේත් ඉබාගාතේ සැරි සරමින් අතීතයේ කළ කී දෑ  මෙනෙහි කරමින් ශෝකබරිතව වියැලුනු සිත් කතරට සිහින් සතුටක වැසි බිඳු ලබා දීමේ අසාර්තක උත්සාහයක නියැලුණෙමි. සැඳෑවේ දළදා වහන්සේ වැඳපුදාගැනීමෙන් අනතුරුව යම් කිසි අස්වැසිල්ලක් ලද්දෙන් නැවත කොළඹ බලා යාමට මම තීරණය කළෙමි.



නුවර වැව රවුම ලඟින් කාරය හරවාගත් මම කොළඹ දක්වා නොනවතින ගමනක යෙදෙනු වස් රියදුරු අසුන මත හරි බරි ගැසුණෙමි.

මේ නගරය .... මා ඔබ මුණ ගැසුණු නගරයයි...
මේ නගරය ... මා ඔබ වෙන් කෙරුණු නගරයයි....

අතීතයත් වර්තමානයත් අතර දෝලනය වෙමින් පැවිති සිත, දෛවයේ සරදමක් ලෙසින් කාරය සතු ගුවන් විදුලි යන්ත්‍රයේ ප්‍රචාරය වීමට පටන් ගත් ගීතයත් සමඟ නැවතත් දුක් සුසුමන්ගෙන් පිරී යාමට මුලපුරද්දී ඊට ඉඩදී මම සුපුරුදු කල්පනාවේ නිමග්න වීමි.

කෙතෙක් දුර එසේ පැමිණියාදැයි මා හට නිනව්වක් නැත. නමුත් අසුරුසැනයකින් පසුවූ බස්නැවතුම් පළෙහි, මා විසින් තෙමසක් තිස්සේ දැකීමට පෙරුම්පුරන ලද ඒ රුවේ චායාවක් දිටිමි.වහා  සිහි එලවාගත් මම ඒ සිටියේ ඇයමදැයි නැවතත් මසිතෙන්ම ප්‍රශ්න කරනාතුර පැති කණ්ණාඩියෙන් එකී රුව ඇඳිනගැනීමට උත්සාහ කළෙමි.. සුදු ඔසරියකින් සැරසී කාරයට පිටුපා බසයක් එනතුරු මඟ බලමින් සිටි ඇගේ මුහුණ නොපෙණුනද ඒ සිටින්නේ ඇයම නොවේදැයි සිත යළී යළිත් ප්‍රශ්න කරන්නට පටන් ගත් නිසාවෙන්ම රථය මදක් පසුපසට ධාවනය කළෙමි.

මා ඇය දුටුවෙමි. අවුරුදු දෙකකට පසුව කිසිදා නොදකින්නට ප්‍රාර්තනා කල ඇයව මා දුටුවෙමි. හුරුපුරුදු ඇය දුටු මසිත කිසි කලෙක නොවූ ලෙසින් මෙතරම්ම ච‍ංචල වූයේ ඇයි දැයි මම නොදනිමි. නමුත් ඇයට කතා කිරීමට ධෛර්යයක් මා සතු නොවීය. මා ඇය දෙස බලා සිටිනා බව නොදත් ඈ වේලාව බලමින් මාර්ගයට නෙත් යොමමින් බසයක්  නොපැමිණිම ගැන විස්සෝප වෙමින් සිටිනු දෙස  මොහොතක් බලාගෙන සිටියෙමි.  ඇයට කතා කළ යුතුද , එසේ කතා කිරීමට අයිතියක් මා සතුවේද යන ප්‍රශ්නයන්ට පිළිතුරු සොයමින් තවත් මොහොතක් සිටි මා රථයේ පැති විදුරුව පහත් කරමින් වෙව්ලන ස්වරයෙන් ඈ ඇමතීමි.

"අනූ "

කතා කල පහත් ස්වරයත් වාහන ශබ්දයත් නිසා ඇයට එය නෑසුනි.. එනිසාවෙන් පෙරට වඩා උස් හඩින් මම ඇය ඇමතීමි

"අනුත්තරා"

බලාපොරොත්තු නොවුන මොහොතක තම නම ඇසීමටත් වඩා බොහෝ කාලයකට පසුව හුරුපුරුදු කටහඩක් ඇසීමෙන් ඈ කළබල වූ බවක් පෙනිණි. එකෙනෙහි කාරය තුළ සිටි මා දුටු ඈ ඇස් අදහාගත නොහැකිවාක් මෙන් මොහොතක් තුශ්නිම්භූතව බලාසිට එකෙනෙහිම බිම බලාගත්තාය.


නැවත ඇගේ නම කියා ඈ ඇමතුවද මොහොතකටවත් හිස ඔසවා නොබැලූ  ඇයට දැන් මා දැකීම අප්‍රිය වන්නට ඇතැයි මම සිතීමි.. නමුත් ඈ කෙරෙන් ඉවත්ව යන්නට මගේ සිත මට ඉඩ නොදුන් නිසාවෙන්ම කාරයේ දොර විවෘත කරමින් බිමට බැස ඈ වෙතට ගියෙමි..


ඇය අසලට සමීප වූ මා නැවතත් ඇය හා කතා කිරීමට  පෙරාතුව මොහොතක් ඈ දෙස බලා සිටියෙමි.  මා ඇය අසලට පැමිණීම නිසාවෙන්මදෝ ඇගෙ මුහුණෙන් අසරණකමක් සහ අපහසුතාවයකට පත්වුනු සළකුණු දැකගත හැකිවිය.

"අනුත්තරා "

ඇගේ මුහුණේ වූ අසරණකමක සේයා අතරින් කේන්තියක් පැණනැගුනු බවක් දුටුවද එකෙනෙහිම ඒ අසරනකමද  කේන්තියද වහා යටපත් කරගෙන මගෙන් සඟවාගත් ඈ  ආයාසයකින් ගොඩ නගාගත් මදසිනාවකින් යුක්තව මදෙස බැලුවාය.

"කොහොමද එරන්ද?

මා ඇයට කෙතෙක් නපුරුකම් කලද කිසි දිනක මා කෙරේ නපුරක් නොසිතු ඈ කිසි කලෙක කිසි දෙයක් සිදු නොවූ අයුරින් මගෙන් මෙසේ සුව දුක් විමසීම මා තුළ විමතියක් ඇති නොකළද  නරුමයකුට නොදෙවෙනිව කිසුදු හිතක් පපුවක් නොලද්දෙකු මෙන් ඇයට සිදු කළ කෙනෙහෙලිකම් හමුවේ ඇයගෙන් පිළිතුරක් ලැබීමට තබා ඇය දෙස බැලීමටවත් මා සුදුසු නොවන බව මා විසින් වටහාගෙන තිබුණී.

"වරදක් නෑ අනූත්තරා මම මේ නුවර ආව පොඩි වැඩකට.. ආයෙ කොළඹ යනගමන්. එකපාරටම ඔයාව දැක්කා.. ඒකයි නතර කලේ.. මොකද මේ රෑ තනියම ?"

අවුරුදු හතරක්පුරාවට තමන් ජීවත් වූවාද , මිය ගියාද නොබැලූ පුද්ගලයා මේ මොහොතේ තනිකම ගැන ප්‍රශ්නකිරීම විහිලුවක් නිසාවෙන්දෝ  සිනාවක් මුවගට නඟාගත් ඈ
 "තනියක් නෑ එරන්ද මළිගාවට අවා වැඳල යන්න" යනුවෙන් පවසනවිට මා කෙරෙහිම උපන් ලැජ්ජාවක් මා තුළ හට ගැණීන.

"එන්න අනූ, මං ඔයාව ගේ ලඟින් ඩ්‍රොප් කරගෙනම යන්නම්"
තව දුරටත් ඇය මා සතු වස්තුවක් නොවුනද , මොනයම්ම හෝ අවස්තාවක් තවමත් ඉතිරිව තිබේදැයි මසිත විමසා බලන්නට ඇත.

"අනේ කරදරවෙන්න එපා එරන්ද.දැන් බස් එක එයි. ඔයා යන්න. අනික කොළඹට යනකොට  හොඳටම රෑත්වෙයි.. මහ රෑ ඩ්‍රයිව්කරන්න හොදත් නෑ . ඔයා යන්න"

ඇය එසේ පැවසුවේ ඇතැම්විට මගේ ඉල්ලීම එක එල්ලේ ප්‍රතික්ශේප කරන්නට ඇයට නොහැකි නිසා වන්නට ඇත. නමුත් ඉන් අධෛර්ය වූයේ මා නොවේ.

"අවුරුදු හතරක් ගෙවිලත් මගෙත් එක්ක ඔච්චරටම තරහද ?"

තරහ වෙන්නට තබා මූනවත් නොබැලිය යුතු තරමට මවිසින් ඈ හට වැරදි සිදුවී තිබුනද මගේ ඒ ප්‍රශ්නය හමුවේ නැවතත් නිරුත්තර වූ ඇය..

"මං ඔයත් එක්ක කවදාවත් තරහ උනේ නෑ? "  යැයි හිස්බැල්මෙන් යුක්තව පැවසුවාය. එකී බැල්ම තුළ සිව් වසරක් තපුරාවට කියන්නට තතනන මහා වචන ගොන්නක් සිරවී ඇති බව මම දුටුවෙමි.

"තරහක් නැත්නං හොද ළමය වගේ නඟින්න වාහනේට"

නැවතත් මදෙස මොහොතක් දෑස් දල්වා  බලා සිට කල්පනාවක නිමග්නව වූ ඈ අවසානයේ සුසුමක් හෙලූවාය..

"හ්ම්ම්,  යමු එහෙනම් "

මගේ සිත සතුටින් පිරුණු වග ඇතැම් විට ඈ දකින්නටත් ඇත.. මා ඇයට කාරයේ ඉදිරි දොර විවෘත කර දී ඇයට වාඩිවෙන්නට සලස්වා රියදුරු අසුනකරාවිත් අසුන් ගතිමි.
රථය පනගන්වා ඇගේ නිවස වෙත ධාවනය කිරීමට පටන් ගත්තද ඈ තුළත් මා තුළත් පැවතියේ දිගු නිහැඩියාවකි. එකී නිහඩතාවය ඇද මගේ හිත අතීතය කරා ගමන් කලේ මටත් හොරාය

*************





"බැල්ලි මේ ඩොකියුමන්ට් ටික සයින් කරල දීපං. මට තවත් උඹව එපා"  දික්කසාද සහතිකය ඈ දෙසට විසි කරමින් මම පැවසූයෙමි. බීමතින්  යක්ෂාරූඩව සිටි මගේ ගොරහැඩි කටහඩින් ගෙදර බිත්ති පවා දෙදරුම් කන්නට ඇත.

" එරන්ද , අනේ රත්තරනේ තව එකම එක පාරක් හිතන්න...අනේ මේ දේ කරන්න එපා එරන්ද ..   මම කොහොමද අම්මලගෙ මූණ බලන්නෙ, ගමේ මිනිස්සුන්ගේ මූණ බලන්නෙ.. "  මගේ දෙකකුල් අල්වාගෙන ඉකි ගසමින් වැලහින්නියක ලෙස අඩමින් හුන් ඈ දෙස මදකුදු අනුකම්පාවක් මා කෙරේ නොවීය.

"මූණ බලන්න බැරි නං තෝ බලාපිය උංගෙ ^*&*(. මිනිස්සුන්ගේ මූන බලන්න බැරි වැඩ  කරල දැං එනව මෙතන සුදනා වෙන්න. මගෙන් මැරුම් නොකා ඔය ඩිවෝස් පේපර් ටික මට සයින් කරල දීපං"

"එරන්ද අනේ දෙයියනේ මං මොන වරදක් කලාටද මට මේම කතා කරන්නෙ .. කැම්පස් යන කාලෙ ඉදන් පන වගේ ආදරෙන් ඉඳල දැන් ඇයි දෙයියනේ මේ" ඇයට කතා කරන්නට මා තුළ හුන් අමනුස්සයා ඉඩක් ලබා නොදුන්නේය.

"ඔව් යකෝ.. ආදරේ කලා තමයි. පන ඇරල මං උඹට ආදරේ කලේ...මං නෑ කිව්වද?..  නෑනේ.? ඊට පස්සෙ උඹ එක්ක මං අවුරුද්දක් දෙකක් එක දිගට පවුල්කෑවෙ. ඒත් මං දැනං හිටියෙ නෑ උඹ මෙහෙම ගෑනියෙක් කියල.  දැං ඉතිං මං පව් ගෙව්ව ඇති..  මට  උඹව එපා.. එපා කියන්නෙ එපා යකෝ.. තවත් රවට්ටන්නෙ නැතුව පවු නොදී ඕක සයින් කරල මට නිදහසේ ඉන්ඩ ඉඩ දීල මකබෑවිලා පලයං. "

ඇගේ හිසෙන් අල්වාගෙන සොලොවමින් කෑ මොර දෙන මගේ ඇස් දෙක ඈ දකින්නට ඇත.  කිසිදු දයානුකම්පාවකින් තොර වූ ඒ ඇස්දෙක තුළ වූ අමනුශ්ෂත්වය ඈ දකින්නට ඇත. නමුත් ඈ අසරණය.ඇගේ අසරණකම තේරුම් ගන්නට මට වුවමනාවක් නොවීය.

"එරන්ද මට ඉන්නෙ අම්මයි ඔයයි විතරයි එරන්ද..වෙන කවුරුවත්ම මට නෑ..  ඒ අසරණ මනුස්සයට මට බෑ මේ ගින්දර දෙන්න.. මං දැනුවත්ව ඔයාට කිසිම වැරැද්දක් කරල නෑ දෙයියනේ.. ඔයා ඔය කියන මනුස්සය ගැන මං දන්නෙවත් නෑ එරන්ද. යාලුවන්ගෙ එක එක කේලම් අහල ඔයා ඔහොම තීරණ......"
ඇයට කතා කිරීමට මගෙන් ඉඩක් නොවිණ.

"දැං උබ එනවද උංටත් ආඩපාලි කියන්න.. යකෝ උං නොවෙන්ඩ මං තාම ජීවත් වෙන්නෙ මේ බොරුවත් එක්ක.. උඹෙ නල්ල මලේ බොරු ආදරෙත් එක්ක. මං දැං උඹ ගැන හොඳට දන්නවා. පේරාදෙණිය කැම්පස් එකේ ඉන්න  කාලෙ ඉදලම උබ මාව රැවැට්ටුවා බැල්ලි, කසාද බැදලත් රැවැට්ටුවා.. " උහුළගත නොහැකි කෝපයෙන් ඇගේ කෙස් වැටියෙන් අල්වා ඇගේ කම්මුලට පහරවල් දෙකක් ගැසීමි.

"ඉදා මේක ගනින් ආයෙ එනකොට මේක අත්සන් කරල  තියල මේ ගෙදරින් මකබෑවිලා පලයං තවත් මගෙ ජීවිතේ විනාස නොකර..  නැත්නං මං උබව මරනව දැනගනින් "

වැලහින්නියක ලෙසින් හඩනා ඈ දෙසට නැවතත් දික්කසාද සහතික ටික දමා ගැසූ මම මදුවිත බෝතලයද රැගෙන  නිවසින් පිට වූයෙමි.


    ********



නුවර  අහස  වලාකුළුවලින් බරවී තිබූණද පූර්ණ අටවක පායා අහස එකළු වී තිබුණි.. අතීතය ගැන මෙනෙහි කරමින් කල්පනාවේ නිමග්නව මෝටර් රථය පදවමින් හුන් මම නැවත වර්තමානය කරා පැමිණෙත්ම අප අතර තිබූ දිගු නිහැඩියාව  බිදදමන්නට සිතුවෙමි.

"අනුත්තරා"

"ම්ම්ම්හ්"

සිහින් හූමිටියක් තැබුවද ඇය තවමත් බිම බලාගෙන කල්පනාවේ නිමග්නවමය.

"මොකද තාම බිම බලාගෙන කල්පනා කරන්නෙ.."

මෝටර් රථය ප්‍රධාන පාරෙන් අතුරු පාරට දමමින් මම පැවසූවෙමි..

"කල්පනා කරන්න දේවල් කොච්චර තියනවද එරන්ද ?"

ඇය සිහින් හඩින් මුමුනනු ඇසිණී..

"ජීවිතේ කියන්නෙ හරිම දුකක් අනුත්තරා" නමුත් කතාව ඉවරකරන්නට මට ඉඩ නොලැබිණි

"ම්ම්ම්හ්, කොහොමද අලුත් වයිෆ් එහෙම සනීපෙන් ඉන්නවද?"

මට හට මද සිනාවක් නැගිණ.. අපගේ දික්කසාදය සිදුවී අවුරුදු හතරකට පසුව අප හමුවූ මුල්ම අවස්තාව මෙයයි.  ඇයට මා ගැන විපරම් කර බලන්නට සිතෙන්නට ඇත. අවුරුදු හතරකට මොන තරම්නම් වෙනස්කම් වන්නට පුලූවන්ද.. බැදීම් ඇතිවෙන්නට  හෝ නැතිවෙන්නට පුලූවන්ද ? කාලයක් පුරාවට දිවුණ මගෙත් අනුත්තරාගෙත් කතාවේ  අවසානයද අවුරුදු දෙකක පවුල් ජීවිතයකින් අවසන් වූයේද දෛවයේ සරදමක් නිසාවෙන්ම වන්නට ඇත.

" ආ එයාද ? එයා නම් ඔය ඉන්නෙ අනුත්තරා ගෙදරට වෙලා. " ඇඟට පතට නොදැනී සැහැල්ලුවෙන් පැවසූවද ඉන් අනතුරුව ඇගේ සුසුමක් සමඟ ඇරඹී නැවතත්  දිගුනිහැඩියාක් අප අතර ඇතිවිය. නිහැඩියාව අතරින් මම ඈ දෙස හොඳින් බැලුවෙමි..

තවමත් ඈ සුන්දරය.. නමුදු කාලයක් පුරාවට බොහෝ කටුක අත්දැකීම් වලට මුහූන දුන් සලකුණු ඇගේ මුහුණෙන් පිලිඹිබු විය.  ඇස් යට කලුව ගොසිනි, නානාප්‍රකාර විලේපනයන්ගෙන් නිතර ගැවසීගත් ඇගේ මුහුණෙහි අද එකදු ආලේපනයක් නොමැත.. ඒ කෙරෙහි ඈ තුළ තිබූ ආශාවන් මඟහැරී ගොස් වන්නට ඇත.. ශරීරය මදක් ඇදී ගොස් ඇතිවාක් මෙන් පෙනෙන්නේ එකී දුක් කම්කටොලු නිසාවෙන්ම වන්නට ඇතයි මම සිතුවෙමි.  නැවතත් මහත් පසුතැවිල්ලක් මා තුළ ඇති විය.

හටගත්  නිහඩතාවය නැවත බිඳ දමන්නට සිතුවෙමි..

"අනුත්තරා, ඉතින් ආයෙ බඳින්න එහෙම හිතුනෙ නැද්ද ?"

ඒ ප්‍රශ්නයට ඈ කෙරෙන් නිකුත්වූයේ ආයාසයෙන් ගොඩනගාගත් මන්දස්මිතයක් පමණී.

"මිනිස්සු අතින් වැරදි වෙනව අනුත්තරා . සමහරු හිතල වැරදි කරනව. සමහරු නොහිතා වැරදි කරනව"

එවර ඈ එක එල්ලේ මදෙස බැලුවාය.

"මගෙන් ඔයාට කිසිම වැරැද්දක් උනේ නෑ එරන්ද ?"

"අනුත්තරා, මං දන්නවා.. ඔයාගෙන් මට කිසිම වැරැද්දක් උනේ නෑ කියල මං දන්නව අනුත්තරා..වැරදි කලේ මගෙ යාලුවො.. අන්තිමේ ඒවට පව් ගෙව්වෙ මමයි අසරණ ඔයයි . මං ගොඩක් කේලම් වලට රැවටුනා.. අපි දෙන්නගෙ සතුට විනාස කරන්න හදපු අයගෙ අරමුණු ඉශ්ට උනා.. ඇත්ත දැනගන්නකොට මං ගොඩක් පරක්කු වැඩියි අනූ... " පසුතැවීමෙන් යුක්තව වචන ටික ගලපාගතිමි.

එවර ඈ කෙරෙන් පිටවූයේ සැනසුම් සුසුමකි.. මහත් සැල්ලුවකින් ඈ කතා කරන්නට වුවාය.

"මං මැරෙන්න කලින් මං වැරදි නෑ කියල ඔයා දැනගත්ත එකම මට ඇති එරන්ද.. නොකළ වැරැද්දකට මං ජීවිතෙන් සෑහෙන්න දඩුවම් වින්දා.. අදටත් මං විදවනවා.. හෙටත් මං විඳවයි.. ඒත් මං වැරදි කාරයෙක් නෙමේ කියල ඔයා දැනගත්ත එක මට ලොකු සැනසීමක්.. අඩුම තරමෙ ඒ සැනසීම හරි මට තියෙයි.."

"මං ඇත්ත දැනගෙන මාස තුනක් විතර වෙනව අනුත්තරා.. ඒත් ඔයා ලඟට ඇවිත් මට ඒක කියන්න හයියක් තිබුනෙ නෑ.. මං පුදුම විදිහට පහුගිය කාලෙ හිතින් දුක් වින්දා.. රස්සාවවත් කරගන්න බැරි තරමට පසුතැවීමක මම හිටියෙ. සතියකට දවසක් දෙකක් නුවර ඇවිත් වෙලා මාළිගාව වැදල  ඉස්සර අපි ආපු ගියපු තැන්වල ඇවිදින එක තමයි පුංචිම හරි සැනසීමකට තිබුනෙ..ඒ එන හැම පාරකම ඔයාව දකින  බලාපොරොත්තුව හිතේ තිබුනත් ඔයාගෙ ගෙදරට ඇවිත් මුහුණ දීල කතා කරන්න මට ශක්තියක් තිබුනෙ නෑ අනූ "

හිත ඇතුලෙ සඟවාගෙන හුන් හැඟීම් මම ඈ  ඉදිරියේ  එකපෙළට දිග හැරියෙමි.

"ගිය දේ ගියා එරන්ද. දැන් ඉතින් දුක් විඳින්න ඕනි නෑ තවත්. මං ඔයාට කවදාවත් වෛරකලෙත් නෑ, කරන්නෙත් නෑ,, වයිෆුයි දවසක ඔයාල දෙන්නට හම්බෙන ළමයිනුයි එක්ක  ඔයා සතුටින් ඉන්න.."

මනුෂ්‍යත්වයේ ගුණාංග ඈ තුළ ඕනෑවටත් වඩා වැඩියෙන් තිබුණි.. ඇගේ අහිංසකකමද අදටද කිසිදු අඩුවකින් තොරවම  එදා පරිද්දෙන්ම තිබෙන බව මා හට පසක් විය.

"ඔයා ආයෙ දුක් විඳින්න ඕනි නෑ අනුත්තරා.. " අවංක සිතින් මම කීවෙමි.

" දුක් විඳින එක දැන් මට හොදට පුරුදුයි එරන්ද " නැවතත් ඈ හිස්බැල්මෙන් පැවසුවාය..

නැවතත් නිහඩතාවයක් අපි අතර ඇතිවිය.. ඇය සහ මා අතර ගත වුනු සිව් අවුරුදු කාලය තුළ ඇතිව තිබෙන දුරස් බව වැඩි බව මට හැඟිණ.. එනිසා ඇය හා කුළුපග වනුවස් මම නිහඩතාව බිඳදැමුවෙමි.

"ඉතින් අනුත්තරා මං අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑනේ.. "

" මං බැන්දෙ නෑ එරන්ද. මට ඒම බඳීන්න බෑ.. මොකද මං ඉස්සෙල්ලම ආදරේ කලේ ඔයාට. කැම්පස් එකේදි දැක්ක දවසෙ ඉදන්  ඔයා මාව ඩිවෝස් කරල දානකම්ම මගෙ ලෝකෙ උනේ ඔයා විතරයි.. ඔයාගෙන් තොර ලෝකයක් මට තිබුනෙ නෑ..  ඉතින් මං කොහොමද බඳින්නෙ වෙනකෙනෙක්ව . ජීවිතේ ඉතුරු කාලෙත් මං තනියම ගෙවල දානව.. තනිකම මට දැන් ගොඩක් පුරුදුයි"

වෙව්ලන මුවින් වචන ගලපමින් කී ඈගේ පනින්න බලාගෙන ඇස් අඟිස්සේ තිබුණු කඳුලු බිංදුවක් නළියනු සද එලියෙන් වුවද මම දුටුවෙමි..

"තනිය මොකද්ද ඉතින් අම්මා හිටියෙ ඔයත් එක්ක.. දැන් මමත් ඉන්නෙ... ඔයා ආයෙ තනි වෙන්න නෑ අනුත්තරා"

"මට කවුරුත් නෑ එරන්ද ? මීට මාස හයකට කලින් අම්මත්"
ඇයට කියාගත හැකි  වූයේ එපමණකි.. අවුරුදු ගනනාවක් පුරා විඳි දුක් කම්කටොලු සිරකරගෙන හුන් කඳුල තව දුරටත් ඇගේ නෙත් කෙවෙනි වලට සිරගත කල නොහැකි විය.. ඇය ඉකි ගසා හඩන්නට පටන් ගත්තාය.

කොඳු නාරටිය දිගේ ආ වරදකාරී බවේ  විදුලිය හා පසුතවීමක හැඟීම කරපින්නාගත් මම වාහනය මාර්ගයේ අයිනට ගෙන නතරකළෙමි..

"ඔයාට මං ඉන්නව රත්තරන්.. ඔයා තනිවෙලා නෑ.. ආයෙ මං ඔයාට තනිවෙන්න දෙන්නෙත් නෑ.. "
මම  ඇයව තුරුළට ගත්තෙමි..

අවුරුදු ගණනාවක් තනිවම විඳදරාගත් ඈ දුක තුනීවනතෙක්ම මා වැළඳ හැඩුවාය.. ඇයට ඇති තරම් හඩන්නට ඉඩ දී මම ඇගේ හිස අතගෑවෙමි..

අවසානයේ ඈ  සිය හිස ඔසවා මා දෙස බැලීය..

"මේක වැරදියි එරන්ද .. මම ඔයාගෙ අතීතය. ඔයාට දැන් වයිෆ් කෙනෙක් ඉන්..." ඇයට වාක්‍ය සම්පූර්ණ කරන්න ඉඩ නොදුන්නෙමි.

"ඒයි කොහොමද හිතුවෙ ඒහෙම   වෙන කෙනෙක් මං බඳියි කියල. වෙන කෙනෙක්ට ඔයාගෙ ජීවිතේ ඉඩක් නෑ වගේම තමයි මගේ ජීවිතෙත් වෙන කාටවත්ම ඉඩක් තිබුනෙ නෑ.. " මම මදසිනාවක් නඟාගෙන කීවෙමි..

කදූළු වලින් පුරවාගෙන හුන් දෙනෙත්  හුඟ කාලෙකට පසුව වැටෙන කාන්තියකින් ඔපවත් වෙද්දී ඉස්සර දවසක තිබුණු දඟකාරකමක් මුහූනට ආරූඩ කරගත්  ඈ..

"එහෙනං එහෙනං ඉස්සෙල්ල කිව්වෙ වයිෆ් කෙනෙක් ඉන්නව කියල."

"ඉතින් හැමදේම දන්නව වගේ අලුත් වයිෆ් සනීපෙන්ද කියල ඇහුවම වෙන මොනාව කියන්නද ? "

ඇගේ ප්‍රශ්නයට ලැබූනු පිළිතුරත් සමඟින් කාන්තියෙන් ඔපමට්ටම් උනු ඈ මගේ උරහිස්සට හිස තියා දෙනෙත් පියාගත්තේ ජීවිතයේ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි සැනසීම ලබාගත්තාක් මෙනි.

"ඉතින් බබා අපි කෙලින්ම කොළඹ අපේ ගෙදරම යමු නේද ? "

උරිස් මත්තේ දෙනෙත් පියාන සිටි ඇය එලෙස සිටිමින්ම මන්දස්මිතයකින් යුතුව සිය හිස සෙලවූවාය..

අවුරුදු ගනනාවකට පසු සැනසීමක හුස්ම පොදක් මුදාහල මම කාරය නැවතත් හරවාගෙන ඈ සමඟින් නිවෙස බලා එන්නට පිටත් වුනෙමි..

නැවතත් අතුරු පාරෙන් කොළඹ නුවර පාරට වාහනය හරවන මොහොතේ මගෙ උරිස්මත නිදා හුන් ඇගේ මුහුනට වැටුණු සදවතක සේයා දුටුවෙමි.. පැරණි ගීතයක වචන සිත සතපා ගනිද්දී ආදරයෙන් ඇගේ නලලත සිපගතිමි.

ගිමන් හරින දියඹ දිගේ 
සුසුම් හෙලන වෙරළ ඉමේ 
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා
හිත් දැහැනේ වෙලී තිබුණු 
නෙත් දැහැනේ ගලා හැලුණු 
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ 
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ



නිමි.





24 comments:

  1. අනේ මේ කතාව හරී ලස්සනයි සමී :*

    ReplyDelete
    Replies
    1. කතාවට නමක් දුන්නට තැංකුයි හන්චි ^_^

      Delete
  2. අඩෝ!!! මෙන්න මේකා ඇවිත් හූරගෙන යන කතාවක් එක්ක!

    ReplyDelete
  3. හරිම ලස්සන කතාවක්. ඔන්න මම දෙපාරක්ම කියෙව්වා.

    ReplyDelete
  4. ආදරණීය කතාවක්

    ReplyDelete
    Replies
    1. සයුරිව දැක්ක කල් :)

      Delete
  5. කොහෙද මෙච්චරකල් හිටියෙ. බොහොම කාලෙකින් ලිව්වෙ නේහ්?

    ReplyDelete
    Replies
    1. සෑහෙනම කාලෙකින්.. නිදහසක් නැති ජීවිතේ අප්පා :/

      Delete
  6. ලස්සන කතාවක් දිගේ සමීගේ පුංචි ලෝකයට මාත් ආවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එන්නං ඒ පැත්තෙත්.. බොහොම ස්තූතියි :)

      Delete
  7. ලස්සන කතාවක් මොහොතකට දෙලොවක අතරමන් උනා වගේ හැගිමක්දනුන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා :)

      Delete
  8. හිතට දැනෙන ලස්සන කතාවක්.මගේ ඇස් වලට කඳුළු ආවා!

    ReplyDelete
  9. කාලෙකින් දිගටම කියව්ව බ්ලොග් පොස්ට් එකක් , ලස්සන කතාවක්

    ReplyDelete
    Replies
    1. අඩේ තෑන්ක්ස් මචං :D

      Delete
  10. aththatama hithata vadina kathavak

    ReplyDelete
  11. ෂා.නියමයි. ලස්සන, දුක්බර කථාවක්.සුකාන්ථයක් වෙච්ච් එක සතුටුයි.

    ReplyDelete
  12. ඇත්තෙන්ම සුන්දර කතාවක් .........
    මිනිස් දිවි මඩලේ..මෙවන් කතා සිතුවිල්ලට
    කතුවරයා අදහසක් ලෙස මෙන්ම
    සැබැවින්ම සිදු වී තිබිය හැකි සේම,
    ඉදිරියේදීත් විය හැකිය....

    ReplyDelete