අපේ ජීවිතේට සමහර පුද්ගලයන් ඉතා විශේෂයි..මගේ ජීවිතේ එවැනි පුද්ගලයන් අතරින් ඉහලින්ම සිටින කෙනෙක් තමයි මගේ ආත්තම්මා.
(මෙතැන් පටන් මම ඇයව මගේ ලොකු අම්මා ලෙස හඳුවන්නෙම්.ආච්චි, ආච්චිඅම්මා, අත්තම්මා කියන ආමන්ත්‍රණය මට නුහුරුයි.ඒ වගේම දුරස් බවක් හැඟෙනව. ලොකු අම්මා කියන්නෙ ඒ කාලේ සිට අප ගම් ප්‍රදේශයේ ආච්චිඅම්මා වෙනුවට භාවිතා කරන්න වචනය. ඔබට මදක් නුහුරු වන්නට ඇති බවට සැකයක් නැහැ.
අම්මගෙ අක්ක මහම්මා, තාත්තගෙ අය්යා මහප්පා, ආච්චිටයි සීයටයි ලොකු තාත්තා සහ ලොකු අම්මා, ඒ තමයි අපේ පැත්තෙ විදිය. පොඩි කාලෙ ඉඳන් ලොකු අම්මේ කියල කට පුරා කියල මෙතනදි ආච්චි කියල කියන්න බැරි හින්දයි ඒ පැහැදිලි කිරීම කරන්න උණේ.)
ලොකු අම්ම ඉපදුනේ 1924දි. ලොකු අම්මගෙ ගම නිවන්දම. කසාද බැඳල අපේ ලොකු තාත්ත කැන්දගෙන ඇවිත් තියෙන්නෙ 1948 නිදහස ලබපු අවුරුද්දෙ නොවැම්බර් මාසෙ 28 වෙනිදා.
කසාද බැඳල දරුවො තුන්දෙනෙක් ලොකු අම්මටයි ලොකු තාත්තටයි හම්බ උණා. පළවෙනි දරුව, ඒ කියන්නෙ අපේ අම්මගෙ අක්කා ඉපදිලා අවුරුදු 9ක් ගතවෙන තැනදි හදවතේ සිදුරක් නිසා ජීවිතෙන් සමු අරගෙන තිබුණා. ලොකු අම්මා පහු කාලීනවත් ගොඩාක් දුක් උණු අඬපු සිදු වීමක් තමයි ඒ දරුව නැති උණ අවාසනාවන්ත ඉරණම, මට මතකයි ලොකු අම්මා මට කියනව ඒ කතාව. ඒ දරුවගේ ජීවිතේ බේරගන්න ලොකු අම්මයි ලොකු තාත්තයි වින්ඳ දුක,වේදනාව, කැපකිරීම. ඒත් ඒ හැමදේම අපතේ ගිහින්, එයාව ලොකු අම්මට නැති උණා. මට කියන ඒ කතාව ඉවර කරන්නෙ ඇස්වල කඳුලු පුරෝගෙන. අන්තිමට ඒ කඳුලු දියවෙලා අත්තම්මගෙ මූණ දිගේ වැටෙන්නෙ හීනි ඉකිබිඳුමක් එක්ක. ඒක නිසා මට දැනුම් තේරුම් තියෙන කාලෙ වෙනකොට ඒ කතාව ආයෙ ආයෙ අහන්න ගියෙ නෑත්තෙත් ඒ මතකය ලොකු අම්මට ගොඩාක් වද දෙන මතකයක් උන හින්දා.
තම්න්ගෙ පළවෙනි දරුව ඒ විදියට නැති උණාම අම්ම කෙනෙක් කොහොම ඉවසන්නද. ඒත් දෙවෙනි දරුව උනු මගෙ අම්මව බලාගෙන ජීවිතේ ගැටගහගන්න ලොකු අම්මට පුලුවන් උණා. අම්මටත් යන්තම් මතකයි අම්මගෙ අක්කව, ඒත් පුන්චි අම්මට ඒ ගැන මතකයක් නැහැ.එයා ඉපදුනේ අම්මා ඉපදිලත් සෑහෙන කාලෙකට පස්සෙ.
අපේ ලොකු තාත්තා ආණ්ඩුවෙ ඉස්කෝලෙක රස්සාවක් කලේ ඒ කාලෙ. ගුරුවරයෙක් නෙමේ. මම දන්න තරමින් ඔෆිස් එකේ සාමාන්‍ය පියන් තනතුරක් වගේ එකක්. ඊට අමතරව ලොකු තාත්ත වී ගොවි තැන කලා. ඇත්තම කිව්වොත් ලොකු තාත්තා ආණ්ඩුවෙ රස්සාවටත් වඩා මුල් තැනක් දුන්නෙ ගොවි තැනට.ලොකු අම්මා මේ හැමදේකටම ලොකු තාත්තට ලොකු ශක්තියක් උණා. ගොයම් කපනකොට, ඇඹුල ගෙනියනකොට ,වී හුලන් කරනකොට මේ හැම දේකදිම පිරිමියෙක් වගේ වැඩ කරන්න ලොකු අම්මට පුදුම ශක්තියක් තිබුනා.ලොකු අම්ම පොළට යනවලු ඉස්සර. පයින්ම කිලෝමීටර් 5ක් විතර ගිහින් බඩුත් අරගෙන ඒවත් ඔලුව උඩ තියාගෙන පයින්ම ගෙදර එනව. අදටත් අම්මල, පුන්චිලා කතාවෙන්නෙ ලොකු අම්ම ලඟ තිබුණු ඒ ශක්තිය ගැන. කොච්චර මහන්සි උණත් මොන අසනීපෙ හැදුනත් එක වේලක්වත් අම්මලව බඩගින්නෙ තිබ්බෙ නෑ
ඒ වගේම තමයි ගෙදරට එන කිසි කෙනෙක්ව බඩගින්නෙ යවන්නෙ නෑ. ඉස්සර කාලයක් තිබිල තියෙනව ගමේ මිනිස්සු ගොඩාක් බඩගින්නෙ කන්න නැතුව හිටපු කාලයක්. ඒ කාලෙ උණත් ඒ ගෙදර වී ගොවි තැන් කරන නිසා හැමදාම කන්නතිබිල තියෙනව. ඉතින් බඩගින්න ඉවසගන්න බැරි උනාම ගමේ දුප්පත්ම මිනිස්සු එන්නෙ(ලොකු අම්මල පෝසත් අය නෙමේ, එයාල දුප්පත් ඒ කාලෙ, ඒත් කන්න නැති වෙලා නෑ කවදාවත් වී ගොවි තැන කරපු නිසා) මහ ගෙදරට.ඒ එන කාවවත් ලොකු අම්ම එලෝගෙන නැහැ. තියෙන මොනව් හරි හදල දීල එන මනුස්සයගෙ කුසගින්න නිවල තමයි යවන්නෙ.
කොහොම හරි කාලෙ ගෙවිල අම්මලව පුන්චිලව කසාද බඳල දුන්න. අම්මා තාත්තත් එක්ක අල්ලපු ගමේ අද අපි ඉන්න තාත්ත හදපු ගෙදරට ආව, පුන්චියි බාප්පයි ලොකු අම්මයි ලොකු තාත්තයි එක්ක මහගෙදරම හිටියා.
අම්මටයි තාත්තටයි මාව ලැබුනා. ඉස්සෙල්ලම ලොකු අම්මටයි ලොකු තාත්තටයි මුණුබුරෙක් උනේ මම. තවත් මිණිබිරියකුයි මුණුබුරෙකුයිත් පුන්චි අම්මයි බාප්පයි එයාලට දුන්න.
මම වැඩිමලා හින්ද මට ලොකූ ආදරයක් ලොකු අම්මගෙනුයි, ලොකු තාත්තගෙනුයි ලැබුණ, මට හොඳටම විශ්වාසයි ඒ දෙන්න නන්ගිටයි මල්ලිටයි වඩා මට ගොඩාක් ආදරේ කලා. මමත් එහෙමයි. පුන්චි කාලෙ ඉඳන් මම හැදුණේ එයාල ලඟ
අම්ම මාව බලාගන්න ඕනි නිසා එයාගෙ රස්සවෙන් අස්වෙන්න කලිනුයි, ගොඩක් වෙලාවට ඊට පස්සෙයි මගේ ගෙදර උනේ මහගෙදර. තාත්ත වැඩට යන හින්දා අම්මට ගෙදර තනියම ඉන්නත් බැරි හින්දා ගොඩක් වෙලාවට මාවත් අරගෙන අල්ලපු ගමේ තියෙන මහගෙදරට යනව.ඉතින් පොඩි කාලෙ මගේ ලෝකෙ හිටියෙ ලොකු අම්මයි ලොකු තාත්තයි.
මාව බලාගත්තෙ ලොකු අම්මා. මට හීනෙක වගේ මතකයක් ඉතාමත් යන්තමින් අදටත් තියෙනව බිම පැදුර එලල කකුල් දෙක දිග ඇරල තියාගෙන මාව ඒ කකුල් දෙක උඩ නිදිකරවල දොයි දොයි දොයි කියල නලවනවා, ඒ කියපු නැළවිලි ගී වලින් තමයි මම නිදාගෙත්තෙ.
මට කවන්න පොවන්න මහන්සි වෙලා තියෙනව ලොකු අම්ම ගොඩක්. මම කන්නෙ නැති උනාම එක එක කතන්දර කියල දීල තම්යි කවන්නෙ. අදටත් මට මතකයි. ලොකු අම්ම කියපු කතන්දරයක්. මම වැඩියෙන්ම අහපු කතන්දරයත් ඒක. ඒ හාවයි නරියයි ලබු කිරිබත් ඉව්ව හැටි. මම ගොඩාක් ආස කලා ඒ කතාවට. කොච්චර අහල තිබුණත් ලොකු අම්ම ඒක කියදිදි අහන් ඉන්න හරිම ආසයි. එයාටම ආවේනික් උනු වෙනස්කම් කීපයකුත් කතා විලාසයකුත් ඒ කතාවෙ තිබුනා.කතාව ඉවර වෙද්දි මම කෑම ඔක්කොම ටික කාල ඉවරයි
මම ගෙදර ඉන්න දවස් වල උදේට මොනව හරි මම කැමති විශේශ කෑමක් හදල තිබුණොත් තකහනියෙ ලොකු තාත්ත අතේ අපෙ ගෙදරට එවනව. මම ගොඩක් කැමතියිලු ඒ කාලෙ ඉඳිආප්ප වලට. ලොකු තාත්ත එහෙම එන දවස් වල අම්ම මට ඒව කවනව. කාල ඉවර උණාම මම පොරේලු ලොකු අම්මව බලන්න යන්න. ඉතින් ලොකු තාත්තා මාව එයාගෙ පදින බයිසිකලේ තියාගෙන එක්කන් යනව මහගෙදර, බයිසිකලේ මැද පොල්ල උඩින් මගෙ පුන්චි පස්ස තියන්න පුලුවන් විදියට පුන්චි කොට්ටයක් තියල ඒක උඩින් ඉන්දවල තමයි එක්කන් යන්නේ, ඒත් ආපහු යන ගමනේදි ලොකු තාත්ත බයිසිකලේට නගින්නෙ නෑ. මහගෙදරට යනකම්ම පයින්ම යනව. මගෙ ආරක්ශාවට ඒ විදියට යන්නෙ. හ්ම්ම් ඔව්, ලොකු තාත්ත ජීවත් වෙලා ඉන්න කාලෙ ලොකු අම්ම තරමටම මට ආදරේ කරල තියෙනව. ඒත් ඒ ආදරේ තේරුම් ගන්න පුලුවන් වයසකට මම එන්න කලින් ලොකු තාත්තා අපිව දාල යන්න ගියා
ලොකු අම්මට වඩා ලොකු තාත්ත අවුරුදු 2ක් බාලයි. ඒත් ලොකුඅම්ම ලොකු තාත්තට ගොඩාක් ගෞරව කලා. අවුරුදු දවසෙ ලොකු තාත්ත ලොකු අම්මට චීත්තරෙද්දක් දෙනකොට ලොකු තාත්තට වඳිනව මට යන්තම් මතකයි,.. එච්චර ලස්සන ජීවිතයක් ගත කරන්න ලොකු අම්ම ලග තිබුනු ගතිගුන කොච්චර වටිනව්ද, වැදගත් වෙනවද කියල අද මට තේරෙනව
ලොකු තාත්ත නැති වෙනකොට මම දෙක වසරේ මීට කලින් මැරෙනව කියන දේ දැකල තිබුනේ නෑ මම, අම්මයි පුන්චිය් ලොකු අම්මයි හැපි හැපි අඬද්දි මමත් ඇඬුව. තේරුමක් තිබුනේ නෑ මොකක්ද වෙන්නෙ කියල. ඒත් ආයෙත් කවදාවත් එන්නෙ නැති වෙන විදියට අපිව දාල යන්නම ගිහින් කියන දේ ටික කාලයක් යද්දි මට තේරුනා. ලොකු අම්ම ලොකු අම්මගෙ ලෝකෙ තනි උනා, අපි හැමෝම ලොකු අම්මගෙ පාලුවට තනිකම්ට කොච්චර හිටියත් ලොකු තාත්ත නැති අඩුව ලොකු අම්මට් කොච්චර දැනෙනවද කියල හුගක් පහු කාලීන්ව මට තේරුම් ගියා. ලොකු අම්ම නැති උනු දව්සක ලොකු තාත්ත තැන්පත් කරපු වලේම තැම්පත් කරන්න කිව්වෙත් ඒ නිසාම වෙන්න ඇති.
ලොකු තාත්ත නැති වෙලත් අවුරුදු ගනනාවක් ගෙවිල ගියා. අපිත් ටික ටික ලොකු උණා. පුන්චි කාලෙ තරමටම මහ ගෙදර යන්න වෙලාවක් නොතිබුණත් පුලුවන් හැම වෙලවකම ලොකු අම්ම බලන්න ගියා. අඩුම තරමේ සතියකට එක දව්සක් හරි ගිහින් බලල ආව.
තවත් කාලය ගත වෙලා ගියා. ලොකු අම්ම හුගක් වයසයි. මීට අවුරුදු 6කට විතර කලින් මිදුලෙ ඇවිදගෙන යන්කොට වැටිලා කකුල කැඩුනා. බොහොම අමාරුවෙන් දවස් ගානක් අම්මයි පුන්චියි එකතු වෙලා ඉස්පිරිතාලෙ තියාගෙන ඉඳල කකුල සනීප කරගත්තා. ආයෙ වැටුනොත් කකුල බේරගන්න බැරි වෙයි කියල තනියම ඇවිදින්න එපා කිව්ව. එදා ඉඳන් ලොකු අම්මව බලාගන්න අම්ම්යි පුන්චියි සෑහෙන්න මහන්සි උනා.පුන්චි වැඩට යන නිසා අම්ම හැමදාම වගේ මහ ගෙදර ගියා, තනියම් ඇවිදින්න පුලුවන් උණත් තනියම ඇවිදින්න, වැඩපල කරගන්න දුන්නෙ නැහැ.
ලොකු අම්මට අවුරුදු 86ක් විතර වෙනකොට ටික ටික මතකෙ අඩු වෙන්න පටන් ගත්ත. සම්හර වෙලාවට අපි කව්ද කියල අන්දුනගන්නත් බැරි උනා,. වෙලාවකට අඳුනගන්නව, තව වෙලාවකදි බැහැ. දව්සක් ලොකු අම්මගෙන් මට අර ඉස්සර අහපු ලබු කිරිබත් කතාව අහන්න ආස හිතුන. ලොකු අම්ම ලගට ගිහින් ඒක කියන්න කියල කිව්වම පැටලි පැටලි වරද්ද වරද්ද මුලු කතාවම ආයෙ මතක් කර කර කියන කොට මගෙ ඇස් වලට කඳුලු ඉනුව. හම්ම්, මේ දැනුත්, මේ ලියන මොහොතෙදිත් මගෙ ඇස් වල කඳුලු පිරිල.
ලොකු අම්මට ගිය අප්‍රියල් වලදි 88ත් ලැබුවා. අප්‍රියල් 5 වෙනිද එයාගෙ උපන්දිනේ. ඒ වෙනකොට සෑහෙන්න දුර්වලයි. තනියම කිසිම දෙයක් කරගන්න බැරි තත්වෙකට පත් උණා. කවන්නෙ , පොවන්නෙ හැමදේම කරන්නේ අපේ අම්මයි පුන්චියි. මතක ශක්තිය ගොඩාක් දුර්වලයි. එයාගෙ අම්මව, ලොකු තාත්තව අහන්න ගත්ත, එයාල නැති උනා කියලත් සමහර වෙලාවට අමතක උනා, සමහර වෙලාවට එච්චර ආදරේ කරපු මාවත්, අම්මවයි පුන්චිවයිත් මල්ලිවයි නන්ගිවයිත් අඳුනගන්න බැරි උනා.
ඒත් ලොකු අම්මෙ දැන් ඔයාට කොහොමද සනීපයි නේද කියල ඇහුවම කට පුරා හිනාවෙලා දැන් නම් හොඳයි පුතේ කියනව. ලොකු අම්ම හරිම සිරියාවන්තයි. ඒ වගේම ලස්සනයි. ඇගසෝදවල පව්ඩර් ගාල ඕඩිකොලොන් ඔලුවට දාල නිදි කෙරෙව්වාම චූටි බබෙක් වගේ නිදා ගන්නව. අම්මල එයාලගෙ යුතුකම් ඒ විදිය්ටම ඉශ්ට කලා. මට ඒ ගැන ගොඩාක් ආඩම්බරයි. අද කාලෙ කිසිම දරුවෙක් අම්ම කෙනෙක් වෙනුවෙන් නොකරන දේවල් එයාල ලොකු අම්ම වෙනුවෙන් කලා
මීට සති 2කකට විතර කලින් හරියටම කියන්වනම් නොවැම්බර් 20 වෙනිද අම්ම වෙනද විදියටම ලොකු අම්මව බලාගන්න ගියෙ පුන්චි වැඩට ගිය හින්දා. ලොකු අම්මව වත්තන් කරගෙන එළියට ගිහින් පිරිසිඳු කරල ඇඟ සෝදවල කිරි එක පොවනකොට ලොකු අම්මගෙ කට පැත්තකට හැරිල ගිහින් තියෙනව. පස්සෙ අපි ඩොක්ටව ගෙනල්ල බලපුවහම් ඩොක්ට කිව්ව ලොකු අම්මට අන්ශභාග ත්ත්වයක් ඇවිත් කියල.අම්ම අහපුවහම් ඩොක්ට ගෙන් ඩොක්ට අපි මොනව්ද කරන්න් ඕනි කියල ඩොක්ට කිව්ව දැන් නම් මුකුත් කරන්න ඉතුරු වෙලා නැහැ කියල. ඒ කියන්නෙ ලොකු අම්මගෙ අන්තිම මොහොතෙ ඉන්නෙ කියල.
ඒක අහපු ගමන් මගෙ ඇඟ ඇතුලෙන් විදුලියක් කෙටුව වගේ දෙයක් උණා. හිතින් ගොඩාක් ඇඬුව. ඒත් අපි දැනගෙන හිටිය ඒදේ. ඒකට මුහුන දෙන්න අම්මල ලැහැස්ති වෙලා හිටියා. මොකද ලොකු අම්ම සෑහෙන දුර්වල තත්වයෙන් හිටිය නිසා. ඉතිරි දවස් ටික අපි ලොකු අම්ම ලඟටම වෙලා හිටිය.
අපේ මුලු පවුලම ඒ කියන්නෙ මමයි අම්මයි තාත්තයි උදේ රෑ දෙකේම හිටියෙ එහෙ. පුන්චි බාප්පයිත් නිවාඩු දාල ලොකු අම්ම ලඟට වෙලා හිටියා. ඒත් එදා අඟහරුවාදා ඇස් පියාගත්ත ගමන ආයෙ ඇරියෙ නැහැ. වතුර ටිකක්වත් පොවන්න එපා කිව්ව ඩොක්ට. ඒත් බලාගෙන ඉන්න බැරි කමට අම්ම දෙලුම් යුශ වලින් ලොකු අම්මගෙ කට තෙමුව. ලොකු අම්මව බලන්න සෑහෙන කට්ටියක් ආව. එයාලත් එක්ක කතා කරන්න විස්තර අහන්න ලොකු අම්ම නැගිට්ටෙ නැහැ. පිරිත් පැය 24ම සජ්ජායනා වෙමින් තිබුනා. අම්ම ලඟටම වෙලා ලොකු අම්මා කරපු හොඳ වැඩ ලොකු අම්මට ඇහෙන්න කිව්ව. බොහොම අමාරුවෙන් හිතේ ශක්තිය තියාගෙන ලොකු අම්ම ලගදි අඬන්නෙ නැතිව ඉන්න අම්මයිත් පුන්චිත් වග බලාගත්තත් කාමරෙන් එලියට ගිය ගමන් ඇඬෙන හැටි මම දැක්ක
අන්තිමේදි ඊලග සතියෙ බදාද දවස(නොවැම්බර් 28) උදා උනා.හරියටම කියනවනම් පෝය දව්සට පස්සෙ දවස. ලොකු අම්ම හුස්ම ගන්න හැටි වෙනස් වෙලා තිබුනා. මුහුදු රැල්ල වගේ හුස්ම වැඩි වෙනව, ටික වෙලාවකදි නතර වෙනව. ආයෙත් හිමීට හුස්ම වැටෙනව. දව්ස් 8ක් ඇඳට වෙලා ඉඳපු ලොකු අම්ම යන්නම යන්න හදන්නේ .
අපි හැමෝම එයාගෙ ඇඳවටේට එයත් එක්ක හිටියා. අම්මගෙ බිඳුනු කට හඬින් සෙත් පිරිත් කියවෙද්දි පුන්චි ලොකු අම්මගෙ කකුල් දෙක බදාගෙන ඉඹිද්දි, නංගිත් මල්ලිත් ඇස් වල කඳුලු පුරෝගෙන බලාගෙන ඉඳිදිදි මගෙ ඇස් වල හිර වෙලා තිබුණු කඳුලු කම්මුල් දිගේ පහලට රූටල වැටෙද්දි පහනක් නිමෙන්නාක් වගේ හිමීට හිමීට නිවිල ගම, මහ ගෙදර ඒ වගේම අපිව අතෑරල දාල මනාලියෙක් වෙලා මහ ගෙදරට ආපු නොවැම්බර් 28 වෙනිදම ආයෙමත් නො එන්නම යන්න ගියා :'(
අම්මලගෙ කඳුලු තවත් හිරකරගෙන ඉන්න පුලුවන් කමක් තිබුනේ නෑ එයාලට. අඬන සද්දෙ ඇහිලා අහල පහල හැමෝගෙන්ම කාමරේ පිරෙන කොට සීතල උනු ලොකු අම්මගෙ ඔලුව ඉඹල මම කාමරෙන් එළියට ඇවිත් හොඳටම ඇඩුවා. කියාගන්න බැරි තරම් දුකයි. ඒත් ලොකු අම්ම ආයෙ එන්නෙ නෑ.
අද (04) ලොකු අමගෙ 7 දව්සෙ දානේ, ඊයෙ රෑ බණ කියවල ලොකු අම්මට පින් පැනිනෙව්ව. අවසාන කට්යුතුත් අපිට පුලුවන් උපරිමෙන් කලා. ගිය සෙනසුරාදා ලොකු තාත්තා තැම්පත් කරපු වලේම ලොකු අම්මව තැම්පත් කලා. ඒ එයාගෙ අන්තිම ඉල්ලීම උනු නිසාවෙන්..
ලොකු අම්ම හරිම අහින්සක චරිතයක්. මගේ ජීවිත කාලෙදි එයාගෙ කටින් කිසිකෙනෙක්ට බැනුමක තරමෙවත් හින්සාවක් වෙනව මම දැකල නැහැ. මස් මාලු කිසිම දෙයක් කටේ තිබ්බෙ නැති ලොකු අම්ම පන්සිල් පද පහම රැකපු කෙනෙක්.
හිතට දුකයි, මේ සටහන ලියද්දි කීප පාරක් මට ඇඬුනා. ලොකු අම්මට මම හුඟක් ආදරෙයි. එයා නැති අඩුව මට හුඟක් දැනෙයි. මේක ටිකක් දිග උනාට මට සමාවෙන්න. කාවුරු හරි කියෝනවටත් වඩා මට ඕනි කලේ කව්ද හරි දවසක මට බලන්න, අම්මලට බලන්න පුලුවන් විදියට නෝට් එකක් ලියල තියන්න. ඒ වගේම හිතේ තියෙන දුක යම් තර්මකට අඩු කරගන්න.ඉතින් මේක කියෙව්වත් නැත්තත් කමෙන්ට් කලත් නොකලත් මම තරහ නැහැ කාත් එක්කවත් . ඒත් මගෙ ඉස්සරහ නිර්මාණ වලදි අනිවාර්යෙන්ම මගෙ ලගින් ඉන්න :)
අන්තිම වශයෙන් මෙහෙම ලියන්නම්;
ආදරණීය ලොකු අම්මේ, ඔයා මේ සන්සාරෙ ඉපදෙන හැම ආත්මෙකදිම මගෙම ලොකු අම්ම වෙලා ඉපදෙන්න ඕනි. ඔයා වගේ හොඳ ලොකු අම්ම කෙනෙක් මට ලැබෙන එකක් නැහැ නැත්නම්. මේ සන්සාරෙ අවසානෙදි මෙතේ බුදුන් දැකල නිවන් මගට යන්න, නිවන් සැප ලබාගන්න ලොකු අම්මට හැම පින් බලයක්ම හේතුවේවා!!! මගෙ ලොකු අම්මට බුදු සරණයි!!!
රෑ 12ට ලියන්න පටන් ගත්තෙ. දන්නෙත් නෑ එළි වෙලා. උදේ 6යි. ඔලුව කැරකෙනව කැරකෙනව වගේ. මේ දවස් ටිකේම නිදි මැරුව උනත් ලියන්න ගත්තහම ඉවර කරන්න හිතෙන්නෙ නැහැ. එහෙනම් මම යන්ව හැමෝටම සුභ උදෑසනක්!! සුභ දිනයක්!!! :)
ReplyDeleteමට සුභ රාත්‍රියක් !
පෝස්ටුව හුඟාක් දිග වැඩි නිසා ඉක්මනින් ඉක්මනින් කියවලා දැම්මේ..ඒත් ආයෙම කියවන්න ඕනෙ..
ReplyDeleteඅපේ පැත්තෙත් අම්මගෙ අම්මට කියන්නෙ " ලොකු අම්මා " අම්මගෙ තාත්තට " ලොකු තාත්තා " ආච්චි . සීයා , අත්තම්මා කියන්නෙම නැති තරම්.ඒත් මම පුරුදු වෙලා උන්නේ "අම්මම්මා " අම්මගෙ අම්මා නිසා.. මට නොතේරෙන කාලෙදිම එයා නැති උනා...
අම්මගෙ ආදරේ ඒ විදියටම..සමහර විට ඊටත් ටිකක් වැඩියෙන් දෙන්න පුළුවන් කෙනෙක් තමා ආච්චි අම්මා...එහෙමත් නැත්තම් ලොකු අම්මා...ඒ ආදරේ හරිම පිරිසිදුයි...
තමන්ගෙ මුණුබුරෝ...මිණිබිරියන්ගේ ආදරය එයාලට මහ මෙරක් තරම්....
කතාව හුඟාක් හිතට දැනුනා සමී
ආයෙ ලොකු අම්මේ ලොකු තාත්තේ කියල කියන්න කවුරුවත් නැහැ ලිහිනි මට :(
Delete"අම්මගෙ ආදරේ ඒ විදියටම..සමහර විට ඊටත් ටිකක් වැඩියෙන් දෙන්න පුළුවන් කෙනෙක් තමා ආච්චි අම්මා...එහෙමත් නැත්තම් ලොකු අම්මා...ඒ ආදරේ හරිම පිරිසිදුයි..."
හ්ම්ම් ගොඩාක් ඇත්ත
මං ඇඬුවා සමී... මට ලේසියෙන් මේ වගේ කඳුලු පෙරි පෙරි අඬන්න වෙන පෝස්ට් හම්බුවෙනවා අඩුයි.. ඒත් කඳුලු ගනන් ගන්නෙ නැතුව මම දිගටම කියෙව්ව...
ReplyDeleteමට නම් ඔහොම මතකයන් අඩුයි... ඒත් තව කෙනෙක් ලියපු දෙයක් කියවද්දි ඒක හරියට මටම වෙච්ච දෙයක් වගේ මට දැනෙනවා...
ඔයා මේ පෝස්ට් එක ලස්සනට ලියලා....
ඔයාගේ ආදරණීය ලොකු අම්මට මේ සංසාර ගමන කෙටි වෙලා නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
ප්‍රාර්තනාවට ගොඩක් ස්තූතියි අක්කේ
Deleteසමී හරි සංවේදි විදියට ලියල තියෙනවා. මටත් මගේ ලොකු අම්මව මතක් උනා බං..
ReplyDeleteහ්ම්ම්. තමන්ගෙ කෙනෙක් කෙනෙක් අහිමි උනාම සන්වේදීකම නිරායාසයෙන්ම එනව මචන් :(
Deleteස්තූතියි කමෙන්ටුවට
එතුමියට නිවන් සුව පතනවා!!
ReplyDeleteප්‍රාර්තනාවට ගොඩක් පින් චන්දන
Deleteමගේ උගුරේ මොකක්දෝ හිර වුනා වගේ වුනා සමියෝ මේක කියවලා..... :( ඒත් එක්කම අපේ ආච්චිවත් මතක් වුනා.... එයා මටත් හුගාක්ම සමීපයි.පොඩි කලේ මම එයා එක්ක සෙල්ලම් කරලත් තියෙනවා. මම උසස් පෙළ කරනකොට තමා ආච්චි අපිව දාල ගියේ. එයා නම් හදිස්සියේම තමා අපිව දාල ගියේ. එක පාරට බඩේ කැක්කුමක් හැදිලා හොස්පිට්ල් නවත්තන්න වුනා. අන්තිමට හොද වෙලා ගෙදර එක්කන් එන්නත් හිටියේ. ඒත් කවුරුවත් නොහිතුව විදියට ටිකට් කපනවා කිව්ව දවසට ඉස්සෙල්ල දවසේ එයා අපිව දාල ගිය.ඔයාගේ මේ පොස්ටුව මාව අඩේව්වා සමි..... :'(
ReplyDeleteකෙනෙක්ගෙ මර්ණ මන්චකය ලඟ ඉන්නකොට ඇතිවෙන හැඟීම විස්තර කරන්න හරි අමාරුයි සමනළි. ඒ අත්දැකීම ජීවිතේ පළවෙනි පාරට ලැබුව මම එදා :(
Deleteඇත්තටම මේක කියවද්දි මමත් ගොඩක් සංවේදී උනා සමී. කොහොමත් අපි ආදරේකරන කෙනෙක් අපෙන් ඈත් වෙනව කියන්නෙ අපිට දරාගන්න බැරි දෙයක් නේ. ඒත් ඔයාලගෙ ලොකු අම්ම හරි වාසනාවන්තයි සමී, ඔයාල වගේ දරු මුනුබුරො ලබන්න. ඔයාල අන්තිම මොහොත දක්වාම ඔයාලට කරන්න පුළුවන් හැමදේම කරල තියෙනව.
ReplyDeleteසමීගෙ ලොකු අම්මට මේ සසර ගමන කෙළවර අමා මහ නිවන්සුව අත්වෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා!
ඒ ගැන එදත් ගොඩ දෙනෙක් කිව්වා. අම්මලට හිත හදාගන්න ලේසි වෙයි ලොකු අම්ම ඉන්නකන් හොඳින් සැලකුව නිසා. ප්‍රාර්තනාවට බොහොම පින් DDT
Deleteඇස් තෙමුණා නොකිව්වොත් ඒ බොරු... උඹේ හිතේ ලොකු අම්මට තිබුන ආදරය එහෙම්මම අකුරු වල තවරලා...
ReplyDeleteලොකු අම්මගෙ මතු ජීවිතය යහපත් වේවා !!! සසර කෙලවර අමා මහ නිවනම වේවා !!!
සමී මීගමු පාර අසල කතෝලික පැත්තක වෙසෙන්නෙක්ද ? ඒ පැත්තෙ අය තමා ආච්චිට ලොකු අම්මා කියන්නෙ.
නැහැ සෙන්නා, මම ඉන්නෙ ගම්පහයි ජා ඇලයි අතර මැද හරියෙ.
Deleteස්තූතියි මේ පැත්තෙ ආවට :)
ප්‍රාර්තනාවට ගොඩාක් පින්
එහෙනම් සිරාගෙ අසල්වැසියෙක් වෙන්ඩ ඇති..
Deleteමම බ්ලොග් අවකාශෙට ගොඩක් අලුත් සෙන්නා. තාම සති 3යි. දැන ඇඳුනුකම ඒ නිසා අඩුයි. සිරාගෙ පෝස්ට් එකක් කියවනකොට මමත් දැක්ක ගම්පහ කියල. ඒත් වැඩි විස්තර අහන්න බැරි උනා
Deleteහරිම සංවේදී සටහනක් සමී. ඔයාගේ ලොකු අම්මට නිවන් සුව ලැබේවා කියලා පතනවා. ඔයාලා වගේ දරුවෝ ලබන්න එයා වාසනාවන්තයි.
ReplyDeleteඅපි ලොකු අම්මා කියන්නේ අම්මගේ අක්කට. පුංචි අම්මා කියන්නේ අම්මගේ නංගි. ආච්චි ට කියන්නේ "අත්තම්මා" කියලා. එච්චරට මම ආස කරන වචනයක් තව කොහෙවත් නෑ. මට දැනෙන්නේ එතකොට ගොඩක් කිට්ටු බවක් දැනෙනවා කියලා. අපේ අත්තම්මලා දෙන්නටත් මේ විදියෙම ජිවිත කතා තියනවා.එයාලා නම් තාම ඉන්නවා.
හිනා යයිද දන්නෙත් නෑ අප්පා. අපේ ලොකු අම්මගෙ අක්කට මං කියන්නෙ ලොකු ලොකු අම්ම කියල ලොකු අම්මගෙ නංගිට කිව්වෙ චූටි ලොකු අම්ම කියල.
Deleteදවසක් මහගෙදර ඉන්න අපේ නංගිගෙන් ඇහුවහලු මනුස්සයෙක් ගෙදර කව්ද දවල්ට ඉන්නෙ කියල. එයා කියල තියෙනව දවල්ට ලොකු අම්ම තමයි ඉන්නෙ කියල. ලොකු අම්ම ඉන්නෙ තනියමද කියල ඇහුවහම
'නෑ නෑ ලොකු අම්මව බලගන්න මහම්ම එනව කියල'
අර මනුස්සය අන්ඳුං කුංඳුංලු ඒ කතාවට :)
පව්..... සමේගේ ලොකු අම්මට මම අමා මහා නිවන් සුව පතනවා. අපේ අම්ම ආච්චි නැති උනේ මට අවුරුදු 10දි එයා අද හිටියනම් කියල හිතෙනවා.
ReplyDeleteලොකු අම්මා කියන්නෙ ලමයෙක්ට ගොඩක් සමීප වෙන්න පුළුවන් අය අතරින් ගොඩක් ඉහලින් සිටින කෙනෙක්. ස්තූතියි ප්‍රාර්තනාවට. ඒ වගේම කෝරලේ මහත්තයගෙ අම්ම ආච්චිටත් නිවන් සුව පතනව!
Deleteහොඳ පොස්ට් එකක්. මටත් මගේ ආච්චිව මතක් උනා. කරුමෙට මම පුංචිම කාලේ උන්දා නැති උනේ. එත් මට එක දෙයක් තවමත් හොඳට මතකයි. මම එතකොට මොන්ටිසෝරි යන්නත් කලින් වයසේ. දවසක් උදෙක මගේ මොනවා හරි වැරැද්දකට අම්ම මට ගහලා මම හයියෙන් ඇඬුව. එවෙලේ ආච්චි මිදුල අතුගාමින් හිටියේ මම අඬන සද්දෙට ආපු ආච්චි අර ඉදලෙන්ම දුන්නද්ද අපේ අම්මට. ඉදල කැඩෙනකන් ගහලා මාවත් වඩාගෙන අරන්ගියා. මේක මගේ හිතේ ආච්චි ගැන මතක් වෙන හැම වෙලාවේම මැවිලා පෙනෙන ච්ත්‍රපටයක්.
ReplyDeleteඋඹට විතරක් නෙමේ, ඒක නං මටත් මැවිල පෙනුන :D
Deleteමට හිනා අය්යෝ :D
එහෙම තමයි. ඉස්සර අම්ම බැනල මම අඩනකොට ලොකු අම්ම මට පේන්ඩ අම්මට පාරක් ගහනව.. ඒත් ඒ බොරුවට. රිදෙන්ඩ තියා වැදෙන්ඩවත් නෙමේ. ඒත් එතෝට මම ඇඩිල්ල නවත්තනව. ගොඩක්ම චූටි කාලෙ උණු දේවල් :)
හරිම සංවේදී ලිපියක් සහෝ.උඹත් සෑහෙන්න සංවේදී මනුස්සයෙක් දුක් වෙන්න එපා අපි කාටත් පොදුවේ උරුම දෙයක් මරණය.ලොකු අම්මත් ඒ නියමයට යටත් වුනා කියලා හිථාගෙඅ හිත හදාගනින්.එත් මම දන්නවා එහෙම ල්සිය්න් දුක නැති කරගන්න බැහැ කියලා ඒත් ඒ මනුස්සයඅගේ ආත්මය නිදහස් වෙන්නවත් දුකෙන් මිදිලා ඉන්න උත්සහා කරපන්.
ReplyDeleteගොඩක් සංවේදී වෙන එකත් එච්චර හොඳ දෙයක් නෙමේ නිශාන්.
Deleteඒක නිසාමද කොහෙද් ජීවිතේ මට ගොඩක් වැරදුනා..
දුක කියන දේ උණත් හැමදාම එක විදියට තියෙන්නෑ කියලත් මම අත්දැකල තියේ. කාලයත් එක්ක ටික ටික අඩු වෙලා යයි
ඔයාට මතකද මගේ පෝස්ට් එක?? අත්තම්මා හරි ලස්සනයි යාළු.. නිශාන් අයියණ්ඩියා කියපු දේ ඇත්ත..ඒත් කරන්න ගියාම අමාරුයි..හ්ම්ම්... නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අත්තම්මට!!..
ReplyDeleteමතකයි ශම්මි. හොඳටම මතකයි. ඒක දැක්කට පස්සෙ තමයි මටත් ලියන්න හිතුනෙ :)
Deleteලෝබ නැතුව අකුරු පාවිච්චි කරලා
ReplyDeleteහුම්ම්.. ඉස්කෝලෙ යනකාලෙවත් මෙච්චර ලොකුවට ලියල නෑ :D
Deleteඔයාගෙ මේ පෝස්ට් එකත් මට ගොඩාක් දෑනුනා... හෑබෑයි ඒ ඔයාල හෑමෝටම වගේ ආදරනීය මතකයක් මට තියන නිසා නෙමෙයි... ආච්චි නම් එපා කියල හිතෙන හන්දා... මේකට අදාල වෙන්නෙ මගේ අම්මගෙ අම්ම...තාත්තගෙ අම්ම ගෑන මට මතක නෑ.. ඒත් අම්මගෙ අම්ම මට දෑනටත් කරන්න පුලුවන් හෑම වෙනස්කමක්ම කරනව... පොඩි කාලෙම මට ඒක ගොඩාක් දෑනුන... ඒත් මට කරන්න පුලුවන් වුනේ අඩන එක විතරයි... හෑබෑයි අපේ අම්මි එක හොද වෑඩක් කලා.. මම පුන්චි කාලෙ අඩ අඩා අහද්දි ඈයි ආච්චි එහෙම කරන්නෙ කියල අම්මි කිව්වෙ එහෙම නෑ පුතේ ඒ ඔයාට හිතෙන හෑටි කියල අම්මි ඒක ආදර්ශයෙනුත් පෙන්නුව මට වෙනස්කම් කලා කියල අම්මි කවදාවත් ආච්චි ගෑන වෑරදි කිව්වෙවත් එයාට වෙනස්කමක් කලේ වත් නෑ... ඒ නිසා මමත් වෙනස්කම් දරාගෙන ආච්චිට සලකන්න පුරුදු උනා... අදටත් එහෙමයි මම මට පුලුවන් උපරිමයෙන් ආච්චිට සලකනව... සමහර වෙලාවට මගේ මහත්තයට දරාගන්න බෑ ආච්චි මට කරන වෙනස්කම් ඒත් එයත් දෑන් ඉවසනව...ආච්චි දෑන් ඩුබායි එන්න ඕනිලු... ඒකත් මම කොහොමහරි කරනව...
ReplyDeleteඑහෙම තමයි නදිනි අක්කෙ... අපි එක එක්කෙනාගෙ ජීවිත වලට සමීප වන එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවනේ..
Deleteදුකයි ඔයා ගැන .. ඒත් ඔයා හොද මිනිබිරියක් වෙන එකට සතුටුයි එයා ඔයාට හොද ආච්චි අම්ම කෙනෙක් නොවුනත්.. හ්ම්ම්ම්
මටත් මගේ සීයාව මතක් වුණා. පොඩි කාලේ ඉදලාම අයියවයි මාවයි ආදරයෙන් බලා ගත්තා. ඒ වගේමයි පිනට දහමට යොමු කරලා සිල් ගන්න එහෙමත් අපිව පුරුදු කෙරෙව්වේ සීයා. මගේ කතන්දර කලාව එන්නත් ඇත්තේ සීයාගෙන්ම තමා. එයාත් හොඳ කතාකාරයෙක්. ඉස්සර පාරේ යන කොල්ලෝ සීයා අපේ කියලා කෑ ගහද්දී මම උන්ට හොඳට බනිනවාලු සීයා මගේ කියලා :D
ReplyDeleteමමත් ඉස්සරම ගිහින් තියෙනව ආච්ච් අම්මත් එක්ක සිල් ගන්න..
Deleteහි හි පොඩි කාලෙ ලමයිව කොහොමත් සමහරු අවුස්සනවනේ :D.. ඔයිට සමාන සිදුවීම් ඕනි තරම් තියනව මගෙ ජීවිතෙත් :)
සුදිකට ස්තුතිකරන්න ඕන අර පෝස්ට් එකට . නැත්නම් මන් මේක දකින්නේ නැහැනේ . ඇත්තටම සමි මගේ බ්ලොග් එකේ කමෙන්ට් කරලා තිබුනට මන් මේකට ඇවිත්ම නැහැ වගේ .
ReplyDeleteමේ මගේ ආච්චිලා ගේත් කතාව . අපි කිවේ ආච්චි . මට අපේ දෙපැත්තේම හතරදෙනා ගැනම හොඳ මතකයන් තියෙනවා . තාත්තගේ අම්ම ගැන ලිව කලින් ගම ගැන ලියු වෙලාවේ.
ඒ වුනාට මේ වගේ ලියන්න ඕන දවසක.
ලිපිය පුරාම ඔයාගේ ලොකු අම්මගේ ආදරය ..අහිංසක කම ඔයා එයාට තියෙන ආදරය ඔය සේරම ළඟ උන්න වගේ දැනුනා . ඒ වගේ නිවුණු සැනසුන මිනිස්සු අද අඩුයි. සරල ජිවිතයෙන් සතුටු වුන ..දරු මුණුබුරන්ට අහස පොලව තරම් ආදරය කල අපේ ආච්චිලා සීයලා හැමෝම වෙනුවෙන් ඔයා මේ ලියා තියෙන්නේ සමි .
ඇත්තටම කියන්න මට දුක හිතුනේ නැහැ . ඔයාගේ ලොකු අම්මා හොඳ ජිවිතයක් ආදරණිය ලෙස ගෙවලා සැනසීමෙන් නික්ම ගිය බව අසා නිවී සසුන බවක් දැනුනා . එහෙම ජිවිත හැමෝටම ලැබෙන්නේ නැහැනේ .
ලියන්න අක්කෙ..
Deleteහ්ම්ම්. ඔයා හරි. ඒ කියපු හැමදේම ඇත්ත. ගොඩාක් හිතට දැනුන කමෙන්ට් එක. බලන්න ආවට ගොඩක් ස්තුතියි!! :)
සාමාන්යෙන් මම පොස්ට් වලට කොමෙන්ට් කරනවා අඩුයි , ගියත් බාගයක් කියවලා මට වැඩක් තියෙංවද බලනව, මේ පොස්ට් එකේ නම් මම අකුරක් නෑර කියෙව්වා , හිතට අස්සෙන් මොකක්දෝ ලොකු වේදනාවකුත් එක්කම වගේ ,
ReplyDeleteනිවන් සුව ප්‍රර්ථනා කරනවා එතුමියට ! ,
ලියන්න පුළුවන් ඉහලම ආකාරයෙන් ලියල තියෙඅන්ව
ස්තුතියි මචං
Deleteඅද බං කියෙව්වේ.....මමත් අපේ කිරිඅම්මාට කියන්නේ ලොකු අම්මා කියලා..එයත් දැන් නිවන් ගිහින්..... හ්ම්ම්....
ReplyDeleteඋඹේ කඳුළු මටත් දැනෙනවා බං.....
ගොඩක් දුකයි සමී..ඒත් මේ ලෝකෙ හැමදෙයක්ම තාවකාලිකයි..ඔයාලගෙ ආදරෙ සෙනෙහස ලොකුඅම්මගෙ ජීවිතේට යෝද ශක්තියක් වෙන්නැති..දුකයි තමයි..ඒත් අඩන්නෙපා..ජීවිතේ හැටි ඔහොම තමයි..ඔයාගෙ ලොකු අම්මට නිවන් සුව..
ReplyDeleteමම ඒ වෙදනාව කොහොමද කියලා තෙරුම් ගත්තේ මගෙ තාත්තා නැතු වුනු වෙල :-(
ReplyDeleteමට මේ ගැන කිසිම අදහසක් නෑ, සමියෝ. මම ඉපදෙන කොට මට ඉතුරු වෙලා හිටියේ සීයා (අම්මගේ තාත්තා) විතර යි. එයත් මගේ පස් වැනි උපන් දිනේ දවසේ මාව දාල ගියා. ඒ මතකය අඳුරු යි. සීයා ගැනත් මට තියෙන්නේ පොඩි මතකයක්.
ReplyDeleteලොකු අම්මට නිවන් සුව පතනවා!