Monday, February 27, 2017

පසළොස් වසරක හැංගුණ මතක







ගම්පහ බණ්ඩාරවත්ත  ම‍ංසන්දිය වෙත ලඟා වෙත්ම පෙර අත් නොවිඳි අමුතුම මිහිරියාවකින් මසිත ඔද්දල් වන්නට පටන් ගත්තේ මටත් හොරාය. පහුගිය අවුරුදු පහළොව පුරාවට මවිසින් එකී බණ්ඩාරවත්ත මං සන්දිය අනේක වාරයක් පසුකරනට ඇත. නමුත් ඒ කිසිම දවසක නොවිඳි මේ සුන්දර හැඟීම මසිතේ ඇතිවීමට මෙදින සුවිශේෂී  දිනයක්ම විය.

ජීවිතේ කාලයක් පුරාවට හිතේ කොනක තැන්පත්වී තිබුණු ආදරයක් සොයා මා පියනඟන මොහොතක මසිත එපමණටම සතුටින් පිරී ඉතිරී යාවියැයි මම කිසිම දිනක නොසිතුවෙමි. සැබැවින්ම මම ඈ කරා ගියෙමි. පසළොස්වසරකට පසු ඈ දැකගන්නට ගියෙමි. ඇගේ සෙනහස විඳගන්නට ගියෙමි. හිත්කොනක තැන්පත් වී තිබුණු උතුරා යන සෙනහසත් , ආදරයත් කැටුව ඇගේ සුවදුක් විමසන්නට ගියෙමි.


මේ සටහන ලියන මොහොතේ  මා ලබන යම් සැනසීමක් වේද, පහළොස් වසරක් පුරාවට හිත පතුළේ තැන්පත් වුනු වරදකාරී හැඟීමෙන් යම් තරමකින් හෝ අත්මිදෙන්නට හැකියාවක් ලබුණේ වීද එයට මා ඈ කරා ගිය එකී ගමන හේතුකාරණයක් වන්නට ඇත.

ඇගෙන් වෙන්වුණු එදවස තාමත් මගේ මතකයේ හොඳින් සටහන්ව ඇත..

“පුතා ඉස්කෝලෙන් ගියාට කමක් නෑ, ඉස්කෝලෙ අමතක කරන්න එපා.”
පාසලේ උපවිදුහල්පති තුමා අස්වීමේ සහතිය අස්සන් කරන මොහොතේ උපැස් යුවළ යටින් අම්මාත්, මමත් දෙස මාරුවෙන් මාරුවට බලමින් එසේ පැවසූ අයුරු මට අද මෙන් මතකය.

“මට ඉස්කෝලෙ කවදාවත් අමතක වෙන්නෙ නෑ සර්”

ශිෂ්‍යත්වය ඉහළින් සමත්වී කොළඹ නගරයේ ඇති පාසලකට යාමේ ඉමහත් සතුට හිත තුළ සඟවාගෙන සිටියද  මවිසින් එසේ පවසන්නට යෙදුනේ සිතේ  උපන් අවංක චේතනාවෙන්ම බව  මම දනිමි.

"ඔයාල ඒම කිව්වට පුතා ඔයාල ඉස්කෝලෙන් ගියාට පස්සෙ ආයෙ මේ පැත්ත හැරිලවත් බලන්නෙ නෑනේ" 

එවර උපවිදුහල්පති තුමා එලෙස පැවසුවේ නෝක්කාඩු ස්වරයෙන්ය. මා පාසල ඇතැර වෙනත් පාසලකට යනවාට උපවිදුහල්පති තුමාගේ කැමැත්තක් නැතිබව මටත් අම්මාටත් හොඳහැටි වැටහුණි. නමුත් ලබාගත් ශිෂ්‍යත්ව ජයග්‍රහනය හමුවේ කොළඹ පාසලකට යාමේ නොතිත් ආසාව පුංචි ළමයෙක් උනු මාගේ හිතේ කැකෑරෙමින් තිබෙන්නට ඇත.  නමුත් පස්වසරක් අධ්‍යාපනය ලැබූ පාසලත් එහි සිටි මගේ යහළු යෙහෙළියනුත් අතැර දමා පාසලෙන් ඉවත්වී යාමේ දුක එදින මට හොඳින්ම දැනුනි.

"අනේ මං එහෙම කරන්නෙ නෑ සර්, ඉස්කෝලෙන් අයින් උනාට මං ඉස්කෝලෙ අමතක කරන්නෙ නෑ.. මං පුලුවං වෙලාවට මේ ඉස්කෝලෙ බලල යන්න හරි එනවා"

පුංචිකමට ඒ කිව් කතාවට මෙවර නම් උප විදුහල්පති තුමාගේ මුවේ සිනහවක් නැඟුනි. 

"එහෙම වෙනවනම් හොඳයි පුතා.  පුතා හොද ඉස්කෝලෙකට ගිහින් හොඳට ඉගෙනගෙන හොඳ තැනකට එන්න. පුතාට කවදාවත් වරදින එකක් නෑ"

මා උපවිදුහල්පති තුමාගේ දෙපා නැමද අස්වීම් සහතිකය අතට ගත්තෙමි. 
අම්මාගේ අතේ එල්ලී නව පාසලක මිහිරියාව දකින්නට සිහින මවමින් නිවස බලා එන්නට මම පිටත් උනෙමි. නමුත් පාසල ඇතැර , ළබැඳි මිතුරු මිතුරියන් අතැර, මහත්සේ ආදරය කල ගුරුතුමියන් අතැර මෙලෙස නික්මීමමට සිදුවීම පිළිබද ඇති වූ මහත් සිත්තැවුල පාසල් ගේට්ටුවෙන් එලියට බට මොහොතේ මට දැනුනයුරු මට අදමෙන් මතකය.  

"මං හොඳට ඉගෙනගෙන හොඳ තැනකට ඇවිත් ඉස්කෝලෙට හොඳ දෙයක් කරනවමයි."
එලෙස නික්මෙන මොහොතේ කුඩා ළමෙයෙකු උනු මගේ සිතේ ඇති වුනු එකී සිත්තැවුල අස්වසාලන්නට මවිසින් ගත් අදිටන එයයි 

එලෙස  ඇගෙන් සමුගෙන ඊට නොබෝ කලකට පසු කොළඹ ආනන්දයට ඇතුළත්ව අනඳ මව් තුරුළේ උණුහුම විඳිමින් අධ්‍යාපනය ලැබීමට මා හට වාසනාව ලැබුණි. ආනන්දයට සපැමිණි අප වෙතට සහෝදරත්වයේ දෑත් දිගුකළ පස් අවුරුද්දක් ආනන්දය තුළ අධ්‍යාපනය ලැබ  එහි සිටි සගයන්, මා වැනිම රටේ විවිධ ප්‍රදේශ වලින් ආනන්දය කර සපැමිණි සගයන්, අලුත් පංතිකාමර , අලුත් ගුරුවරු, අලුත් පරිසරය, සිරිත්විරිත් හා සම්ප්‍රදායන් අතර නව ලෝකයක මිහිරියාව විඳගනිමින් සිටි මට මේ නුහුරු පරිසරය තවදුරටත් නුහුරු නුපුරුදු එකක් නොවන්නට වැඩි කාලයක් ගත නොවිනි. මා එහිම කොටසක් බවට පත්වීමි.

 දින,සති බවටත්; සති, මාස බවටත්, මාස අවුරුදු බවටත් පත්වී කාලය හඹාගිය අයුරු පුදුමසහගතය. සාමාන්‍යපෙළ , උසස්පෙළ පමණක් නොව ඉන් අනතුරුව ගතකල සුන්දර සරසවි දිවියටද සමුදෙන්නට කාලය එලඹි මොහොතක හිත පතුලේ කැකෑරෙමින් තිබුණු ඒ පශ්චත්තාපය උග්‍ර බවට හැරෙන්නට පටන් ගෙන තිබුණි. 

"අනේ මං එහෙම කරන්නෙ නෑ සර්, ඉස්කෝලෙන් අයින් උනාට මං ඉස්කෝලෙ අමතක කරන්නෙ නෑ.. මං පුලුවං වෙලාවට මේ ඉස්කෝලෙ බලල යන්න හරි එනවා"

මෙකී වචන සමුදාය වරින්වර මසිතේ සටහන් වෙන වාරයක් පාසා මගේ හෘද සාක්ශිය හඩගා මට කියන්නට තනනන දෙයක් ඇති බැව්  වටහාගත්තෙමි. 

"ඉස්කෝලෙන් ගියත් හරි, උඹ නිකමටවත් ඒ පැත්ත හරිලවත් බැලුවෙ නෑ, ඉස්කෝලෙට මොනව උනාද කියල උඹ දන්නෙවත් නෑ, උඹට ඔච්චරටම මුල අමතක උනාද ? අද උඹ ඔය ඉන්න තැනට එන්න උඹට ආරම්භය අරන් දුන්න ඒ අම්මව උඹ අමතක කලේ කොහොමද ? "

මගේ හිත මගෙන්ම ප්‍රශ්න කරන සෑම විටකම මම අසරණ වීමි. 

සැබෑය. දාහකුත් එකක් වැඩ රාජකාරි, එකින් එක එකින් එක පෙළට එන විභාග, අලුතෙන් ජීවිතේට එකතුවෙන අරමුණු, ඉලක්ක සහ ඒ ඉලක්කයන් සපුරාගැනීමට  දරන උත්සාහයන් අතර එවැනි අතපසුවීමක් සිදුවෙන්නට පුළුවන.. 

නමුත් , අවුරුදු පහළොවක් ? 

අවුරුදු පහළොවක් පුරාවට ප්‍රාථමික අධ්‍යාපනය ලබා දුන් තමන්ගේ පළමු සිප් කිර පෙවූ පාසල් මවුන් බලන්නට බැරි යන්නට බැරි තරමටම කාර්යබහුලත්වයක් මිනිසෙකුට තිබෙන්නට හැකියාවක් නැත.. මම එය තේරුම් අරන් සිටියෙමි. මගෙන් සිදු වූ ඒ වරද නිවැරදි කරගැනීමට මම අදිටන් කරගත්තේ එහෙයිනි.

ඔය අතරවාරයේ  අවුරුදු පහළොවකට පෙරාතුව මගේ යහළු යෙහෙළියන්ව සිටි අයවලුන් සෙවීමේ මෙහෙයුමක් මම දියත් කළෙමි. මුහුණු පොත ඒ සදහා අපූරු තෝතැන්නක් විය. 

චායාරූපය - බුද්ධික වීරපාන


පාසල හැර ගියද මිතුරන් දෙතුන් දෙනෙකු සමඟ  සබැඳියාවක් තිබූ නිසා ඔවුන්ගේ උදව් පැතීමි. ඒ අයගෙන් ලැබුනු තොරතුරු ඔස්සේ තවත් මිතුරන් කීපදෙනෙක් නැවත දැකගැනීමටත් ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු වලින් තව තවත් පැරණි මිතුරන් සමඟ මිතුරුකම් අලුත් කරගැනීමටත් හැකියාවක් ලැබුණි. ඒ ආකාරයෙන් ප්‍රාථමිකයේ මා සමඟ එක පන්තියේ හුන් සහෝදර සහෝදරියන් හතළිස් පහකින් තිහකට ආසන්න ප්‍රමානයක් මුහුණු පොතේ සමූහයකට එකතු කරගැනීමට හැකියාවක් ලබුනි.



 හිත ඇතුලෙ තැන්පත් වී තුබුණු පැරණි මතකයන්, පැරණි මුහුණු, වයසින් මුහුකුරාගිය මුහුණු තුළින් නැවතත් අලුත් වෙද්දී හිතට දැනුනු ඒ සිතිවිල්ල ඉතා මිහිරිය. අවුරුදු පහළොවකට පෙර හිටිය ඒ පුංචි ළමයි, අද දවසේ  වයසින් මුහුකුරා ගිය පුද්ගලයන් බවට පත්වී තිබුණත් ඔවුන් තුළින් මම අතීතය නැවත දකින්නට උත්සාහ කළෙමි. එය සැබැවින්ම ඉතාම මිහිරි අත්දැකීමකි. නමුත් ඇතැමුන් හා කතා බහ කිරීමේදී එදා සිටි අයවලුන්ට වඩා හාත්පසින්ම වෙනස් ගති පැවතුම් සහ හිතන පතන විදිහේ වූ වෙනස්කම් නිසාවෙන් යම් තරමකට කළකිරීමකට පත්වුනු අවස්තා නොතිබුණා නොවේ. කොහොම නමුත් නැවතත් එකී මිතුරන් චායාරූප වලින් හෝ දැකගන්නට හැකිවීම පිළිබද මා ඉතා සතුටු වෙමි. 

ලියාගෙන යන්නට ආ කාරණය මඟ ඇරීයාමට පටන් ගත් හැඩය. නමුත් මා ප්‍රථම අධ්‍යාපනය ලැබූ පාසල, හිත තුළ මෙතරම් පැල පදියම් වන්නටත් හේතුව ඔවුන්ම නිසාවෙන් ඔවුන් පිලිබදවද යමක් සටහන් කොට තැබිය යුතුයැයි සිතුණි. 

කෙසේ නමුත් පාසලින් සමුගෙන අවුරුදු පහළොවක් ගතවී තිබුණද නැවත එය දැකීමටවත් යා නොහැකි වූ පසුතැවිල්ල උග්‍ර වූ අවස්තාවක මම මුහුණු පොත ඔස්සේම නවීන් හා කතාකළෙමි. නවීන් යනු ප්‍රාථමිකයේ සිටිනා කාලයේ මාගේ හොඳම මිතුරාව සිටි පුද්ගලයායි. අදටද මාගේ එක දෙක වසරවල පොත් පෙරළා බලන මොහොතක "මගේ යාහලුවාගේ නම නවීන්  ධනුෂ්ක දිසානායක " ලෙසින් ලියූ පද පෙළි හමුවේ.. එක ශ්‍රේණියට මා ඇතුළත් කල දවසේ මා වාඩි කරවූයේ නවීන් ලඟ නිසාවෙන් එදින සිට ඔහු මාගේ හොඳම මිතුරා වන්නට ඇත. ප්‍රාථමිකයෙන් ඉවත්ව ගිය පසු ඔහු සමඟ තිබූ සබැඳියාව මඟ හැරී ගියද මුහුණු පොත තුළින් නැවතත් මිතුදම් අලුත්කරගන්නට හැකිවුණි..

කෙසේ නමුත් මා ඔහුට මගේ හිතේ ඇති වී තිබුණු පසුතැවිල්ල එලෙසින්ම පැවසුවෙමි. 

"මචං නවීයෝ මට ඉස්කෝලෙ බලන්න යන්න ඕනි බං"

"එල යමං පුතා. මං එන්නම්"  
මා එලෙස පැවසුවේ ඇයිදැයිවත් නොඅසා මෙලෙස මසිතේ පහල වූ අදහස මුදුන් පමුණුවාලීමට උදව් වීමට එළෙබීම පිලිබද මට සතුටු සිතිණි.

"කොහොමද බං යන්නෙ? සිකුරුටි යන්න දෙයිද ?"

මා ඇසූ පැනයට මෙවර ඔහුගෙන් නැවතත් පැනයක්ම යොමු විය

"ඉස්කෝලෙට යන්න මොකක් හරි හේතුවක් තියේද ? නිකංද යන්නෙ ? :

 "මං අවුරුදු පහළොවකින් ඉස්කෝලෙ දැකල නෑ බං, මට හෙනම අප්සට්. ඉස්කෝලෙන් යද්දි මං ආයෙ එනව කියල ගියෙ.. ඒත් මේ වෙනකම් මට ඒක කරගන්න බැරි උනා. නිකං හරි ඉස්කෝලෙට ගිහිං බලන්න ඕනි."

මා පැවසුවේ පෙර කී පසුතැවීමෙන්ම යුතුවය.

"හරි බං යමං. මේ ඉරිදා මං කොහොමත් යනවා . පොඩි රැස්වීමක් සංවිධානය කරල තියනව ඉස්කෝලෙ හිටපු කීප දෙනෙක් එකතුවෙලා. ඉතිං උඹට එන්න පුළුවන්නම් වරෙං. "

ඉරිදා කියූවනම හිත තුළ තිබූ බලාපොරොත්තු සුන්වී ගියේ මා සිදු කරන උසස් අධ්‍යාපන කටයුත්තක අත්‍යාවශ්‍යෙන්ම යායුතු වාචික ඉදිරිපත් කිරීමක් කරන්නට නියමිතව තිබූ නිසාය. 

"අයියෝ මට ප්‍රසන්ටේශන් එකක් කරන්න මේ ඉරිද කැම්පස් එකට යන්න වෙලා තියනව බං. ඉරිද නං එන්න වෙන එකක් නැතිවෙයි. සාමාන්‍ය දවසක ගියොත් මට යන්න දෙන එකක් නැතිවෙයිද ?"

මා නැවතත් ඇසුවේ කෙසේ හෝ පාසලට යාමට අවශ්‍යම වූ නිසාවෙනි 

"මෙහෙමයි මචං, දන්නවනේ සික්කන්ගෙ හැටි"

සැබෑය. අවුරුදු පහළොවකින් පසු පාසල වෙත යන මා අදූනන කිසිවෙකුත් නැත. ගියද රිසිසේ පාසලේ ඇවිදින්නට හැකියාවක්ද නැත. මඟ හැරුණු අවස්තාව ගැන දුක්වෙමින් මම නවීන්ට සමු දුන්නද පාසල වෙත යාමේ නොතිත් ආශාව නම් මොහොතකටවත් මා කෙරෙන් ඉවත්ව ගියේ නැත. 

ඉරිදා උදේ විශ්ව විද්‍යාලය වෙත යන්නට හැඳ පැලඳ ගත්තද එහි යන්නට හිත ඉඩ දුන්නේම නැත. පාසල කරා යා යුතුම බැව් මගේ සිත මටම කොදූරා කියන්නට විය.  මේ අවස්තාව  අහිමි වුවහොත් තව අවුරුදු කීයකට නැවත පාසල වෙත යාමට හැකියාවක් ලැබේදැයි කිව නොහැක. විවිධ අරමුණු නිසාවෙන් ඒ ආශාව මඟ හැරී නැවතත් වරදකරී හැඟීමක පශ්චත්තාපය මගේ හෘද සාක්ෂිය සතුවනවාට මගේ කිසිම කැමතතක් නැත. තීරණය මා සතු විය. අවසානයේ,  විශ්ව විද්‍යාලයේ තිබුණු පරීක්ෂණයට කුමක් වුවද පාසල වෙත යෑමේ තීරණය මම ගතිමි.

click on the photo to enlarge


බණ්ඩාරවත්ත මංසංදියෙන් වමට ඇති අතුරු පාරේ හරවා  රැස්වීම තියෙනවායැයි කියූ වෙලාවට පෙරාතුව මම පාසල කරා ලඟා වීමි.. පාසල අවට මඟ දෙපස පවා බොහෝ වෙනස්ව ගොසිනි. පාසල වටා අලුතින් ඉදිවූ තාප්පය අසල මෝටර් බයිසිකලය නැවැත්වූ මම අවට විපරම් කර බැලීමි.  තවමත් රැස්වීමට සහභාගි වන්නට නියමිතව සිටින පිරිස පැමිණ නැති සෙයකි. මම පාසල තුළ යාම සදහා ප්‍රධාන දොරටුව දෙසට පියමන් කළෙමි.

අවසානයේ පසළොස් වසරකට පසුව නැවතත් මම ඒ භූමියට පා තැබූවෙමි.

ඒ මොහොතේ මසිතේ ඇති උන හැඟීම වචනයට නැඟීමට මට කිසිදා නොහැකිවනු ඇත.  මම මොහොතක් හිටිවනම නතරව අවට බැලීමි. වෙනස් වූ පර්සරයක සැඟවී ඇති පැරණි මතක රාශිය නටඹුන් සෙවීමට මම උත්සුක වීමි. 

ප්‍රථමයෙන්ම දිස්වූයේ පාසල් දොරටුව අසළම ඇති ගොඩ නැගිල්ලේ නිර්මිත සිමෙන්තියෙන් කල කැටයමයි.  ගලේ කෙටූ අකුරක්මෙන් එය මසිතේ සටහන්ව තිබිණි.



බිත්තිය අවපැහැගැන්ව කඩතොලු වී තිබුණද සිමෙන්ති කැටයම එදා විලසින්ම අදටද කිසිදු වෙනසකින් තොරව පැවතුනි. මා ඒ අසළ ඇති පියඟැට පෙළ නගිමින් පාසලේ අප සිටි කාලයේ සඳුදා දින ප්‍රධන රැස්වීම සිදු කල භූමියට ඇතුල් වුනෙමි.

බුදුමැඳුර ඒ අසළ ඇති වතුර මලත් ඇරෙන්නට සියල්ලම වෙනස් කර ඇත. එකළට වඩා බොහෝ සුන්දරව තණ පිඩැලි අල්වා අලංකෘත කර ඇත.

බුදු මැඳුර සහ ඒ අසළ ඇතිවතුර මල


එකල ප්‍රධාන රැස්වීම තිබූ භූමිය

බණ්ඩාරවත්ත පැරකුම් මහ විදුහල ශිල්ප කලා මෑණී
අපේ ඤාණ මෑණී......
අප විදුහල් මෑණී...........


සුන්දරවූත් අතිශය මිහිරී වූත් පාසල් ගීතය මගේ දෙසවන තුළ රැව්පිළි රැව් දෙන්නට පටන් ගත්තේ අතීත මතක ගොන්නක් අවුස්සමින්ය. තව දුරටත් මේ භූමිය උදෑසන රැස්වීම සඳහා විවෘත නොවූවද එකල තම්මැට්ටම් බටනලා හඩින් වාදනය වූ ඒ මිහිරි ගීතය  එක හඩින් ගැයූ හැටි තාමත් මතකය.

නොබෝ වේලාවකින් තවත් මිතුරෙක් මා හා එක්විය. ඒ වෙනකවුරුන් හෝ නොව මගේ පන්තියේ සිටි නිමේශ් චතුරංගය. අවුරුදු පහළොවකට  පසු සජීවීව හමුවන ප්‍රථම අවස්ථාව මෙය උවද මුහුණු පොත අලුත් වැඩියා කරගත් මිතුදම් නිසාවෙන් ඔහු ඇඳින ගැනීම කිසිදු අපහසුවක් නොවීය. ආගිය තොරතුරු මද වෙලාවක් කත බහ කොට රැස්වීම පටන් ගන්නට පෙරාතුව පාසලේ සෑම තැනකම ඇවිදීමට ගත් මගේ තීරණයට චතුරංග ද හවුල් විය.. ඉදින් පාසල පුරා ඇවිදිමින් එකල මෙකල ඇති වෙනස සන්සන්දනය කරමින් යන ගමන එලෙසින් ඇරඹුවෙමු.

පාසලේ නව ගොඩ නැඟිලි රාශියක් ඉදිවී ඇත. එනිසාවෙන් ඇතැම් ස්ථාන ඇඳින ගැනීමට අපහසු විය. නමුත් මා මහත්සේ ආදරය කළ එක හා දෙක ශ්‍රේණි වල ගත කළ පන්ති කාමරය සොයා යාමට මගේ මතකය හොදටම ප්‍රමාණවත් විය.. මුළු පාසලින් මා ආසම කරන තැන එතැනය.

මගේ ජීවිතයේ මට හමුවූ හොඳම  ගුරුතුමියන්ගෙන් කෙනෙක් වුනු රම්‍යා චාන්දනී ගුරුතුමියගේ රුව එක වසර තූල අප සිටි පන්තිකාමරය තුළ මම සෙව්වෙමි. දෙකවසරට සමුදුන් මොහොතේද පාසලට සමුදුන් මොහොතේද ඈ මගේ හිස සිප ගත් අයුරු බොහොම ආදරණිය මතකයක්ව හිතේ තැන්පත්ව ඇත.  කෙසේ වුවද අද වන විට මේ පන්ති පේළිය  තවදුරටත් එක වසර සදහා වෙන් නොවුනත්  පන්තිකමර වලට ඇතුළු වීමට හැකියාවක් නොතිබුණත් අප ඒ පන්තියේ අකුරු කල යුරු මට සිහිනයකමෙන් මැවී පෙනෙන්නට විය.


රම්‍යා චාන්දනී ගුරුතුමිය

පාසලේ සුන්දරම මතකය -  1  C මහවැලි








ඒ කාලෙ අත්වැඩ කරපු වැඩ බංකු. 



1 වසර 2 වසර අංශය -  කැළණි , නිල්වලා, මහවැලි, මැණික්, වලවේ


එක ශ්‍රේණිය අංශය ඉදිරිපිටින් ඇරඹෙන ක්‍රීඩා පිටිය හා එහි  තිබූ දෙල්ගස අපට සුවිශේෂී එකක් විය. දුවපැන ඇවිදපු ක්‍රීඩා පිටිය අද තවත් විශාලව බොහෝ ඉඩ කඩ ඇතිව පුළුල් කර තිබුණද අපගේ ආදරණිය සුවිසල් දෙල්ගස තව දුරටත් එතන නොතිබීම විශාල දුකක් විය.. හිසට සෙවනක් පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කඩුල්ල ලෙස කොයි කාගෙත් සිත් දිනාගෙන සිටි දෙල් ගස එලෙස මතකයේ රැඳී තිබීම පුදුමයක් නොවේ. 


ක්‍රීඩා පිටිය. දෙල්ගසේ නටඹුනකුදු අද නැත.




ක්‍රීඩා පිටියට සමු දී ඉන් අනතුරුව තුන සහ හතර යන දෙවසර ගත කළ පංන්ති කාමරය සොයා අපි ගියෙමු. එක්වනම ගොඩනැඟිල්ල පිහිටි ස්තානය සොයාගත නොහැකි උවද දුටුවනම එය ඇඳිනගත හැකිවිය.  මදක් සරපරුෂ ගුරුතුමියක වූ පුෂ්පා ගුරුතුමියගෙන් ගුටි නොකෑ  කෙල්ලෙකු හෝ කොල්ලෙකු මේ පන්තියේ නම් සිටියේ නැති වග මට විශ්වාසය :P 


තුන සහ හතර වසරවල් වල අපි ඉගෙනගත් "මලිති" පංතිය




ඉන් අනතුරුව පහ වසර පන්තිය වෙතද ගමන් කළෙමු.  අලුතෙන්ම ඉදිකරන්නට යෙදුනු වැඩ නිම නොකල තුන් මහල් ගොඩ නැඟිල්ලක  බිම් මහළ පමනක් තනා විවෘත කලේ එකල අප වෙනුවෙන්ය. එහි ආරම්භක උරුමක්කරයෝ අපි වීමු. පහ ශ්‍රේණියේ ඉගෙනගත් අවුරුද්ද එකී පන්තිකාමරය තුළ අපි ගත  කලෙමු. අද ඒ ගොඩ නැඟිල්ල අංග සම්පූර්ණ තුන් මහල් ගොඩනැඟිල්ලකි. ඒ අවට තිබුණු ක්‍රිකට් සෙල්ලම් කිරීම සදහා අපි භාවිතා කල එකදු පොල්ගහක්වත් නැත. අද ඒ පන්ති පළමු වසර සඳහා  වෙන් කරන්නට යෙදී ඇත.

පහ වසරෙ අපි හිටපු පංතිය

අපේ තනි මහල් ගොඩ නැගිල්ල අද තුන් මහල් ගොඩනැඟිල්ලක්
තරඟකාරී ශිෂ්‍යත්වයකට මුහුණ දෙන්නට සූදානම් වූ මේ පන්ති කාමරය තුළ ඉන්ද්‍රාණි ගුරුතුමිය විසින් අකුරු කරවූ සැටිද මතක් කරගතිමි. ශිෂ්‍යත්වය සමත් වී පාසලෙන් නික්මෙන්නට පෙරාතුව ඈ විසින් මගේ සමරු පොතෙහි තබන ලද සටහනක් මා සතුව තවමත් සුරක්ෂිතව ඇත. 



මේ දේවල් මා සතුව පවතින බොහෝ වටිනාකමින් යුක්ත දේවල්ය.   මේ මතකයන්ට සදා ආදරය කරමි. දිවි එති තෙක් මා ලඟ ඒ සටහන් සුරැකිව තැබෙනු ඇත

කෙසේ නමුත් ඉන් නොනැවතී තවත් බොහෝ තැන් වල මමත් චතුරංගත් ඇවිද්දෙමු. පරණ සිදුවීම් පිළිබඳ කතා කළෙමු. එදා සහ අද අතර පවතින වෙනස්කම් සංසන්දනය කළෙමු. අවුරුදු පහළොවකට පසුව ඒ සුන්දර ළමා කාලයතුළ ජීවත් වීමට ඒ ගත කළ දෙහෝරාවක පමන කාළය උදව් විය. පෙරකිව් ලෙසම එය අතිශය සුන්දර අත්දැකීමක්ම විය. 

ඒ වන විට රැස්වීමට සහභාගි වෙන්නට පිරිස පැමිණ සිටි අතර ඔවුන්ද රැස්වීම පසෙක ලා අප මෙන් පාසල පුරා ඇවිදිමින් පෙර මතකයන් අලුත් කරගන්නට වෙහෙසෙන යුරු මම දුටුවෙමි. අවසානයේ අපි සියල්ලන්ම එකතුව අප එහි ආ කාරණය කතිකා කොට ගත්තෙමු. නවීන්ද රැස්වීම පටන් ගත් පසු පැමිණිම මගේ සතුටට හේතුවිය. පාසල වෙනුවෙන් අප විසින් යමක් කල යුතු බව අප සියලු දෙනාගේම අදහස් විය. පාසල වෙනුවෙන් යම් දෙයක් කිරීමේ අරමුණින් පරාක්‍රම අපි නමින් සෑඳුන සමූහයක ආරම්භය එළෙස සිදුවවෙද්දී අනාගතයේ වැඩ පිළිවල දළ වශයෙන් සැලසුම් කරගෙන සියල්ලෝම විසිර ගියෙමු.

කෙසේ නමුත් මා නැවත නිවසට පැමිණියේ බොහෝ පැරණි මතකයන් අලුත් කරගෙනය. කාලයක් පුරාවට හිතේ පැලපදියම් වී තිබුණු ආශාවක් ඉෂ්ට කරගෙනය. මගේ හෘද සාක්ෂිය විසින් මා අතපසු කළ දෙයක් නිසා මා මත පැටවූ බර මදක් සැහැල්ලු කරගෙනය. නමුත් තවමත් සම්පූර්ණ සැහැල්ලුවක් මට නොදැනේ.  මගේ ජීවිතයේ ආරම්භ්ය කියා දුන් මේ පාසලටත් ආනන්දයටත් යම් දෙයක් කලා යැයි මගේ හිත මටම කියන දවසක් එනතෙක් මා ඒ පාසල් මෑණිවරුන්ට සදා ණය ගැතිය.  ඒ දින වැඩි ඈතක නොවේයැයි මට සිතේ. 

ආදරණිය ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විදුහල් මෑණියණි ඔබට චිරං ජයතු!!! 


----------------------------------------------------------------------------------------------------------------------

***

ප/ලි- 


සහෘද පාඨකයන් වෙනුවෙන් ලියමි

මෙය බොහෝ අනුප්‍රාසයන්ගෙන් යුතු කතාවක් සේ ඔබට හැඟෙනු ඇත. නමුත් මේ සිතිවිලි සහ සිදුවීම් සියල්ලම සත්‍ය සැබෑ සිතිවිලි සහ සිදුවීම්ය. ඇතැම්විට පාසලෙන් නික්මුණු පසු නැවත ඒ වෙත නිතර යනෙන ඔබට මෙහි ඇති හැඟීම් නොදැන්නෙනට පුළුවන. නමුත් මා කරපින්නාගෙන සිටියේ අවුරුදු පහළොවක මතකයකි. අවුරුදු විසිපහක කොල්ලෙක්ට ඒ මතකය ටිකක් බර වැඩි වෙන්නේ ඒ නිසාය. ඇතැම්විට තම පාසල කෙරෙහි ආදරය , භක්තිය ඇතිවන මට්ටම් එකිනෙකාට වෙනස් වන්නටද පුලූවන.. 

මා මෙය මාගේ පුද්ගලික ලිපියක් ලෙස වර්ග කරමි.  ඉන් මා අදහස් කරන්නේ මේ ලිපිය මා වෙනුවෙන්ම අනාගතයේ දිනක බලන්නට ලියා තබන සටහනකි. මා මේ බ්ලොග් අඩවිය තුළ මෙවැනි සටහන් තබා ඇත්තේ තව එකක් පමණි. ඒ මගේ ආච්චි අම්මා මියගිය දිනවල ඈ වෙනුවෙන් ලියූ සටහනය.. මෙවැනි ලිපි කියවන්නට කම්මැලි සිතෙන බැව් මා දනිමි. නමුත් මගේ ආත්මාර්තකාමීත්වය නිසා මෙලෙස ලියා බ්ලොගයෙහි අලවා තබන්නෙමි. එනිසාවෙන් අමාරුවෙන් හෝ කියවන මගේ අනික් බ්ලොග් සටහන්  මෙන් නොව මේ ලිපිය ඔබ කියවතැයි මා කිසිසේත් බලාපොරොත්තු නොවෙමි!


ප/ප/ලි-


 කාලයකට ඉහත දී මවිසින් ලියැවුණු වමනයේ මිහිරියාව බ්ලොග් සටහනද මා මෙම ප්‍රාථමිකයට යන කාලේ සිදු උනු එක්තරා සුන්දර සිදුවීම්  සමුදායක මතකයන් ඔස්සේ ලියා ඇත.කියවීම නොකියවීම ඔබට බාරය. :D


---------------------------------------------------------------------------------------------------------------------

බණ්ඩාරවත්තේ මිතුරන් වෙනුවෙන් 

උඹල ගැන වෙන වෙනම වචනයක්වත් ලිව්වෙ නෑ මේ සටහනේ.. එක එක්කෙනා ගැන වෙන වෙනම ගොඩක් දේවල් මගෙ මතකයේ රැස්වෙලා තියනවා.. දැන් කාලෙ මේ කියපු දේ මේ මතක නැති උනාට ඒ කාලෙ වෙච්ච දේවල් සෑහෙන මහකයි..ඒව එකින් එක ලියන්න මගෙ බ්ලොග් එකේ ඉඩ මදි.. උඹල එක්ක වැඩියෙ කතා බහ කරන්නෙත් නැති එක හේතුවක් තියනවා.. උඹල ගැන මං හිතාගෙන ඉන්න විදියක් තියනවා. ඒ කාලෙ හිටිය අහිංසක ළමයි. විසබීජ ඔලු වල තිබ්බෙම නෑ. ඒත් දැන් වචන දහයක් කතා කරද්දි උඹල ගැන හිතේ තියං  ඉන්න ප්‍රතිරූපේ බිදෙනව. සමහර විට උඹලටත් මං ගැන ඒම හිතෙනව ඇති :D ඒක ස්වභාවිකයි. මොකද අපි දැං පොඩි ළමයි නෙමේ. මං ආදරේ දැං ඉන්න උඹලට නෙමේ. ඉස්සර කාලෙ හිටිය උඹලගෙ පුංචි ළමා චරිතෙට.. අන්න ඒ චරිතෙට තියන ආදරේ නැති කරගන්න මං කැමති නෑ.. ගෙට් එකක් කරමුද කියල මගෙන් ඇහුවම මං ඒකට එච්චර උනන්දුවක් පෙන්නුවෙ නැත්තෙත් ඒකයි :D ආ උඹල මොකක්ද අහන්නේ මගෙ ලොකු ලයින්ද කියලද අහන්නෙ ?  ඔව් යකෝ මගෙ හෙන ලොකු ලයින් තමයි :D (විහිළු :P )










4 comments:

  1. බලාපොරෛාත්තු නොවුනට මට කියවන්න හිතුනා.. ඒ වගේම මුල් ඉස්කෝලේ අමතකර කරල අවුරුදු විසි ගානක් දැන්..

    සමීයා නැගිට්ට එකත් මදෑ

    ReplyDelete
  2. කාට උනත් තමං ඉගෙනගත්ත පාසල අමතක කරන්න බෑ. මම ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 21 ක් වෙනව.

    මම අවුරුදු 13 ම ගියේ එකම ඉස්කෝලෙකට. ඒ හින්ද එකකින් එකකට මාරුවෙන වැඩේනං උනේ නෑ. මේ මාසෙ තිබ්බ අපේ ඉස්කෝලෙ 50 සංවත්සරේට ආදි ශිෂ්‍යයො එකතු වෙලා බස් එකක් අරන් දුන්න.

    ReplyDelete
  3. Patta. Matath mage iscoleta mehemama hageemk tynne. Duka kiyanne hitapu unwa fb ekenwat hoyaganna bari una

    ReplyDelete
  4. මමත් මගේ ඉස්කෝලෙ ගැන ලිවුව සමී.... මට ඒ කාලෙ කවදාවත් අමතක කරන්න බෑ..... කවදාවත්....

    මම මගේ යාලුවොන්ගෙන් ගෙට් එකක් තියමුද කියල ඇහුව... උන් කියන්නෙ උබ දීපු උත්තරේ.... ඇයි බන් ඒ....

    http://jeevithayasundharai.blogspot.com/2013/01/02.html#.WMqEVTt97IU

    http://jeevithayasundharai.blogspot.com/2013/01/03.html#.WMqEWjt97IU

    ReplyDelete