කාලය යන ඉක්මන..
එහෙ බලල මෙහෙ බලන ටිකට 2026 අවුරුද්දෙනුත් මාස එකාමාරක් ඉවරයි නේද? මාර වැඩේ කියන්නෙ එන්න එන්නම කාලය ගත වෙන වේගෙ වැඩි වෙනව කියල හිතෙන්නෙ නැද්ද ඔයාලට? ඇත්තටම එහෙම හිතෙන්නෙ මේ ලෝකෙ කැරකෙන වේගෙ වැඩි වෙලාද නැත්තං අපේ ඔලුවෙ තියන මනස්ගාතයක් හින්දද කියන එක කල්පනා කරන්නවත් වෙලාවක් අපිට නෑ දැන්. හැබැයි නිකමට හිතල බැලුවාම ඉස්සර අවුරුද්දක් ගෙවිල යනවට වඩා හැටට හැටේ වේගෙන් මේ ලඟ ලඟ එන අවුරුදු ගෙවිල යනව කියල ඔයාලට නිකමටවත් හිතිල නැද්ද? වයසෙ වැරද්දද, කාලෙ වැරැද්දද, වෙන මොකක් හරි එකක වැරද්දද කියන්න මටත් තේරෙන්නෙ නෑ. මේ අද ඊයෙ කසාද බැඳපු උං එකවරසට පොඩි එකාව දාන පොටෝ බුකිය පුරා දානකොට තමයි තේරෙන්නෙ යකඩෝ මේ කාලෙ යන ඉක්මන කියල.
මේ ලියන්නෙ හුඟක් කාලෙකින්. කොටින්ම දැන් ලියන්න තියා කියවන්නවත් අපිට වෙලාවක් නෑනෙ. ඇත්තම කිව්වොත් අපිට වෙලාවක් නැත්තෙ නෑ.. අපිට දැන් කියවන්න ලියන්න ඕනි නෑ. මොකද අපිට ඊට වඩා ලල් එකක් දෙන බක්කක් තියනවනෙ සෝශල් මීඩියා කියල. අපි ඒකට ඇබ්බැහි වෙලා වීඩියෝ බල බල ඉන්නව. කොටින්ම අහවල් සෝශල් මීඩියා එක ඇතුලෙත් ඉඳ...ල හිටල පොටෝ එකක්, ලයික් එකක් දානව ඇරුනම, දැන් ඉස්සර වගේ පෝස්ට් එකක්, කමෙන්ට් එකක්වත් දාන්නෙ නෑ නේද කියල; සංවාදයක් කරන්නෙ නෑ නේද කියල; පැල් බැඳං තර්ක කරන්න යන්නෙ නෑ නේද කියල කල්පනා කෙරුව වෙලාවක මටම හිතුනා. කොටින්ම අපි ඒ හැමදේම අතෑරල දාලා.. අපිට වැඩක් නෑ, අපි ඕවට නෑ, අපි ඉන්නේ අපේ පාඩුවේ සීන් එකේ ඉන්නෙ. අපි පරිනත වෙන්න වෙන්න ඒක එහෙමයි.
අපි පොඩි බබාලට තියන එකම විනෝදේ සෝශල් මීඩියා වීඩියෝ... වීඩියෝ... වීඩියෝ... ඇඟිල්ලෙන් උඩට කලාම තවත් වීඩියෝ එකකට, එතනින් තවත් වීඩියෝ එකකට, එතනිනුත් තව තවත් වීඩියෝ වලට යන මෙතඩ් එක හොයාගෙන මේකෙ අතෑරිය එකාව හම්බෙනකං ඉන්නෙ හොම්බට දෙකක් අනින්න. එච්චරටම බලන බලන තැන අපි ඔයාල හැමෝම ස්වයිපප් කර කර වීඩියො බලනව.
කාලෙන් කාලෙට අපේ පුරුදු වෙනස් වෙනව තමයි. හැබැයි ඒ පරන පුරුදු අපි ලඟ තිබිලා මේ අලුත් පුරුදු නැති උනා නම් කියල හිතෙන වෙලාවල් එනව කියන්නෙ මොන වගේ අංජබජල් තත්වයක්ද නේ? පොතක් පතක් කියවල සඟරාවක් කියවල ටීවි එක බලල සින්දුවක් දෙකක් අහලා බ්ලොග් එකේ මොනා හරි කොටලා සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවල දාපු කාලෙ මතක් වෙනව නේද ? ඒ කාලෙත් අපි සාමාන්‍ය විදියට වැඩ කලා, ඉගෙනගත්තා, විභාග ලිව්වා, රස්සාවල් කලා. අපි දැනුත් ඒව කරනව. ඒ උනාට අපි ලඟ තිබුන ඒ වටින පුරුදු අපෙන් දුරස් වෙලා යන්නම ගිහිල්ලනෙ. ඒ වෙනුවට ඊට වඩා ආතල් එකක් අපිට දැනෙන ඒ උනාට ඒ ආතල් එකට වඩා පරණ, අපි පුරුදු වෙලා හිටිය, අහිංසක ආතල් පුරුදු හොඳයි කියල හිතෙන හත්වලාමේ මේ සෝශල් මීඩියා කෙලිය ගැන නං පුදුම හිතෙනව වෙලාවකට..
ඉස්සර මිනිස්සු බස් එකේ කෝච්චියෙ උනත් ගියෙ වට පිට බල බල උනාට දැන් උබල අපි හැමෝම මොන තූත්තු කුඩියෙ ගියත් බෙල්ල පාත් කරං අර නල්ල මලේ ගඩොල් බාගෙ දිහෑ බලාගෙන ඒකට හිනා වෙවී වෙනම ලෝකෙක ජීවත් වෙනව. අන්තිමට බලපුවාම කාලෙ රූ.......ං ගාල ගෙවිල ගිහිං අපිට ටටා බායි කියල.
මං මේ බ්ලොගේ මකුළු දැල් කඩන්න හිතුවෙ ඔයැයිලට සෝශල් මිඩියා ඕනිවට ලංකරගන්න එපා කියල අනුශාසනා දෙන්න නෙමෙයි ඕං වැරදියට නං හිතන්න එපා.. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියල කියමනක් තියනවනේ.. ඉතිං ඒක හින්දා මමත් කාගෙන් හරි බණක් අහල ඒක පිලිපදිනව මිසක් ඔය බණ නං මං දේශනා නොකරන්න යන්නෙ නෑ..
![]() |
| සිංහල බ්ලොග් කරුවෝ කියල ඉමේජ් එකක් ඉල්ලුවම සිංහල මුල් සරමෝ කියල ඉමේජ් එකක් AI දෙයියා දුන්නා :D |
යාලුවො අද නැත - වෙන අය එහි ඇත.. කියලවත් කියන්න බැරි තත්වයක් අද බ්ලොග් ලෝකෙට වෙලා තියෙන්නෙ. සමහර විට අපි ෆලෝ කරපු ලිස්ට් එක ඇරුණම වෙනම සෙට් එකක් දැන් බ්ලොග් ලියනවද දන්නෙත් නෑ. හැබැයි රීඩිං ලිස්ට් එක දැක්කම නං කලාතුරකින්වත් මකුළු දැල් කඩල දාන්න ඒ කාලෙ හිටපු උන්දැලටත් හිතක් නෑ වගේ.. මාතලන් වගේ බ්ලොග් පතාකයො එක්කෙනෙක් දෙන්නෙක් නං තාම ලියනව දැක්ක මං. ඒ උනාට ඒවට තියන ප්‍රතිචාර කමෙන්ටු ඒමත් හරිම අඩුයි. පොලිටික්ස් ලිවිල්ල එච්චරම සෙට් නැති නිසා ඒව බලන්න හිතෙන්නෙත් නෑ දැන්.
ඉස්සර බ්ලොග් වල, පෝස්ට් අස්සෙ වෙනම කතාවක් දිගෑරෙනකොට; කමෙන්ට් අස්සෙ වෙනම සුන්දර කතා දිගෑරෙනව. සම්බන්ධතා මිතුරුකම් ඇතිවෙනව. අන්න ඒ මිතුරුකම් ඒ දවස්වල තිබ්බ බ්ලොග් ගෙට්ටු වලින් හම්බෙලා කතා බහ කරල තව තවත් ශක්තිමත් කරගන්නව. හරිම සුන්දර කාලයක්. ඔය සුහදතා අතරෙ මේකෙ මරාගත්ත වෙලාවලුත් නැත්තෙ නෑ.. ඒ රණ්ඩු සරුවල්වල උනත් ආයෙ මතක් කරනකොට සුන්දරත්වයක් තියේ නේද කියල හිතෙනව. මං මගෙම පෝස්ට් වල කමෙන්ට් බලනව අදටත් ඉඳල හිටල ආව වෙලාවකට. සමහරු තියල ගියපු ඒ වචන දෙක තුන හරියට සමරු සටහන් වගේ වෙලා අද. එච්චරට නොස්ටැල්ජික් ෆීලිං එකක් එන්නෙ ඒ කමෙන්ට් බලපුවාම.
හිට්ස් ලක්ශයක් කියන්නෙ ඒ කාලෙ බ්ලොග් ලියපු අයගෙ මයිල්ස්ටෝන් එකක්.. හැබැයි හිට්ස් ලක්ශෙ මගේ බ්ලොග් එකට එනකොට මං ලියන එකයි කියවන එකයි දෙකම අතෑරල දාල. අහම්බෙන් දැක්කෙ මගෙ පුංචි බ්ලොගෙත් හිට්ස් ලක්ශෙ පන්නල. ඉතිං ඒ හිට්ස් ලක්ශෙ පහු උන එකත් වෙන්න ඇත්තෙ දැන් අවුරුදු ගානකට කලින් වෙන්න ඕනි. කොහෙද ඉතිං මේ පැත්ත පලාතෙ එන්නැති කොට ඒව දැනගනීවියැ මම. ඉතිං හිට්ස් ලක්ශයක් ආව කියල මහ ලොකු සතුටක් එන්න කාරනාවක් උනේ නෑ ඒක. හැබැයි ඒ කමෙන්ට් කියවල ඒ කාලෙ මතක අලුත් කරගෙන ඊට වඩා ලොකු සතුටක් ලැබුව නිසා ඒ කාලෙ ලියපු කියපු මේ පැත්තෙ ආව ගිය හැමෝම වෙනුවෙන් පුංචිම පුංචි සටහනක් අකුරු කරන්න හිතුනා. ඒ නිසාම ලිව්වා. අවුරුදු ගානකින් ලියන නිසා හරිම කැතට ලියවෙන්නෙ. මකල දාන්නත් හිතල, නෑ ඕන්නෑ ඒ කාලෙ මෙහෙ ආව ගිය එක්කෙනෙක් හරි දකියිනෙ කියල හිතල පෝස්ට් කලා.. ඉතිං ඔයත් මේ පැත්තෙ නිකමට හරි ආවොත් ඒ කාලෙ මතක් වෙන්නත් එක්ක පොඩි හරි සටහනක් තියල යන්න හොඳේ.. :)
ඉතිං මෙහෙ ආවා ගියාට, පොඩි වෙලාවක් වෙංකරල සටහනක් තැබුවට ඔයාට බොහොම ස්තූතියි. නුදුරු දිනයක් නැවත හමුවෙමු. ආදරෙයි. ජයවේවා!!
සමී.. ( මුදියා)


