Wednesday, February 15, 2017

මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ...





පසුගිය කාලයේ ජීවිතයේ සිදු උනු හැලහැප්පීම් රාශියක  කටුකත්වයත් එනිසා ඇති වූ හිස්බවත්, දරාගත නොහැකි තනිකමත් කරපින්නාගත් මා නුවර පැමිණියේ එකම එක අරමුණක් හිතේ පෙරදැරිවය.. අතීතයේ දවසක මා දිවියේ තාවකාලික නවාතැනක් බවට පත්ව තිබුණු මහනුවර නගරයට මා බොහෝ ඇලුම් කලෙමි.  තරමක හෝ අස්වැසිල්ලක්, සැනසීමක් නුවර අහස යට මට හිමිවන බැව් මම විශ්වාස කළෙමි.. එදා මෙන්ම අදටද නුවර අහස මට සිසිල්ය..සුවදායකය.. කිසිදු අරමූණකින් තොරව  දුක් සෝ සුසුමන් මැද ගෙවුනු ජීවිතයේ තනිකම තව දුරටත් දරාගත නොහැකි තැන මේ ගමන පැමිණියද ඒ ගමන පුරාවට මටත් හොරා පිටවුණු පසුතැවීමේ සුසුමන් අනන්තය, අප්‍රමාණය.

උදේ සිට, සිව් වසරකට සෙවණ දුන් පේරාදෙණිය සරසවියේත්, පේරාදෙණිය නගරයේ සහ මහනුවර නගරයේත් ඉබාගාතේ සැරි සරමින් අතීතයේ කළ කී දෑ  මෙනෙහි කරමින් ශෝකබරිතව වියැලුනු සිත් කතරට සිහින් සතුටක වැසි බිඳු ලබා දීමේ අසාර්තක උත්සාහයක නියැලුණෙමි. සැඳෑවේ දළදා වහන්සේ වැඳපුදාගැනීමෙන් අනතුරුව යම් කිසි අස්වැසිල්ලක් ලද්දෙන් නැවත කොළඹ බලා යාමට මම තීරණය කළෙමි.